සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1166
බුන් අරුත්
නා.ප්‍ර. වෙනස් වූ අර්ථය ; විවිධ වූ අර්ථය.
බුන් තෙල්
නා.ප්‍ර. මී කිරෙන් හිඳගන්නා තෙල් ; දුන්තෙල්.
බුන්න
වි. බිඳපු ; කඩා දැමූ.
බුඳ
නා. ටික ; ඩිංගිත්ත.
බුබ්බුල
නා. ගෝලය ; ගෝලාකාරය.
බුබුල
1. නා. ලෝහ වීදුරු ආදියෙන් කළ කුඩා වටකුරු දෙය ; වාතයෙන්/වායුවෙන් හෝ දියරකින් පිරුණු ගෝලය.
2. සම, සිවි, පොතු ආදියෙහි මතුපිට හටගන්නා ගඩුව.
3. පොළවෙන් මතුපිටට විහිදන දිය දහර ; උල්පත.
4. (කථා.) ළපටි ගෙඩිය ; හිරිමල.
5. ඇතැම් වාස්තු නිර්මාණවල මුදුනේ ඇති ගෝලාකාර කොටස ; බුබ්බුල.
බුභුක්ෂාව
නා. කෑමට ඇති රුචිය ; අනුභව කිරීමේ කැමැත්ත.
බුම්මැඩිය
නා. මැටි කඳකින් ද, සමින් වසන ලද එක් ඇසකින් ද යුක්ත ව සාදන ලද්දා වූ ද ගොයම් කැපීම් ආදි අවස්ථාවල දී භාවිත වූ බෙරයක්.
බුමු
1. නා.ප්‍ර. (නිවාස ආදියක) තට්ටුව ; මහල.
2. බිම ; භූමිය.
වි. පොළොවෙහි වසන ; බිම්හි වූ.
බුමුතුරුණු
නා.ප්‍ර. බිම අතුරන පලස ; ගෙබිම වසන ඇතිරිල්ල.
බුරනවා
1. ක්‍රි. බල්ලා හොර හතුරන්ට, අමුත්තන්ට එරෙහි ව හඬ නඟනවා.
2. (කථා.) බුරන්නාක් මෙන් කථා කරනවා ; ඇඟට කඩා පනිනවා.
3. ගින්න තදින් ඇවිළෙමින් හඬ නඟනවා.
බුරුත්ත
1. නා. එකට එකතු වූ පිරිස ; සමූහය.
2. එකට යාව හටගත් කොස් ආදි ගෙඩි සමූහය ; පොකුර.
බුරුමය
1. නා. ලී විදීම සඳහා භාවිත කරනු ලබන වඩු උපකරණයක්.
2. වර්තමාන මියන්මාර් රාජ්‍යය.
බුරුල්
වි. තද ගතියෙන් තොර ; මොළොක්.
බුරුල්ල
1. නා. ගවාදි ක්ෂීරපායී දෙනුන්ගේ කිරි එරීම නිසා මහත් වන තන පුඩු පෙදෙස ; කිරි බුරුල්ල.
නා.ප්‍ර. ඖෂධීය ශාක වර්ගයක් ; ගුරුල්ල.
බුරුසුව
නා. දූවිලි පිසදැමීම, මැදීම, ඉලීම, ඇඳීම ආදී ක්‍රියා සඳහා භාවිත කරනු ලබන කෙඳි උපකරණයක්.
බුලත්
නා.ප්‍ර. විට සැපීම සඳහා කොළ ලබාගන්නා වැලක් ; තාම්බූල.
බුලත් තටුව
නා. බුලත් පිදීමට ගන්නා ධාරකය ; බුලත් පුවක් තබාදෙන (පාදකයන් සහිත) භාජනය ; ඉලත්තට්ටුව.
බුලත් හුරුල්ල
1. නා. කොළ හතළිහකින් යුත් බුලත් ගොන්න ; බුලත් අත.
2. බුලත් හුරුල්ල සංකේතවත් කරමින් පහත් නිලධාරින් උසස් නිලධාරින්ට දෙන ගාස්තුව.
බුල්බුදය
නා. වායු පිරි ගෝලය ; නොහොත් අර්ධ ගෝලය ; බුබුළ.
බුසල
නා. සහල් වී ආදිය මනින මිනුම් විශේෂයක් ; සේරු දෙතිසකින් හෝ පැරණි ලාස් අටකින් හෝ යුත් මිනුම් ඒකකය.
බුහු
1. නා.ප්‍ර. මදය නැති පොතු වී ; බොල් දහයියා.
2. සමහර කෘමි, පත්‍ර බීජ ආදියේ ඇති කෙඳි ගතිය ; බූව.
3. (කථා.) බුහු හෙවත් බූ කෙළිය නම් ක්‍රීඩාවට යොදා ගන්නා පන්දු විශේෂයක්.
වි. බහු ; එකකට වැඩි ; බොහෝ.
බුහු බස
නා. නාමයක හෝ ආඛ්යාතයක බහුත්ව ලක්ෂණය අඟවන භාෂාප්රයෝගය ; බහු වචනය.
බුහුකෙළිය
නා. සිංහල ගැමි ක්‍රීඩාවක් ; පොල් දෙකක් මත තබන ලද ලී කැබැල්ලකට පන්දුවෙන් ගැසීම.