සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1178

භාව නාමය

නා. යම්කිසි විශේෂයක හෝ ගුණයක හෝ අගුණයක භාවය ප්‍රකාශ කරන නාමය ; ගුණයේ භාවය පෙන්වන නාමය.

භාව ප්‍රකාශනය

නා. හැඟීම් ප්‍රකාශ කිරීම ; සෞන්දර්යාත්මක චිත්තවේග පැවසීම.

භාවකලාප

නා.බහු. භාව රූපයක් සමඟ හටගන්නා රූප සමූහය.

භාවක්ෂේත්‍රය

නා. හැගීම් සමුදාය ; චිත්තවේග.

භාවක්‍රියාව

නා. ක්‍රියාභාවය පමණක් හඟවන කෘදන්ත රූපී ආඛ්‍යාතය.

භාවන

1. නා.ප්‍ර. මෙනෙහි කිරීම ; සිතට නැඟීම.
2. වර්ධනය ; වැඩීම.

භාවනා කෘත්‍යය

නා. මාර්ග සත්‍ය ධර්ම නැවත වැඩීමේ ක්‍රියාව.

භාවනානුයෝගී

වි. බවුන්හි නිරතවන ; භාවනාවෙහි නැවත නැවත යෙදෙන.

භාවනාව

නා. සිත විසිර යා නොදී එක් අරමුණක පැවැත්වීම ; කසිණාදි යම්කිසි අරමුණක සිත පිහිටුවාගෙන විසීම.

භාවනුවාද ශෛලිය

නා. එක් භාෂාවකින් ලියන ලද ලේඛනයක අදහස පමණක් වෙනත් භාෂාවක ලේඛනයකින් දැක්වීමේ ක්‍රමය.

භාවපදාර්ථය

නා. තත්ව ඥානය ලැබීමට අවශ්‍යයෙන් ම දත යුතු පදාර්ථ සය.

භාවපූර්ණ

වි. හැඟීම්වලින් පිරුණු ; රසාත්මක හැඟීම්වලින් පරිපූර්ණ.

භාවය

1. නා. සාමාන්‍ය තේරුම ; විස්තර ප්‍රකාශනයෙන් තොර සරල අදහස.
2. අදහස් කරන දෙය ; අභිප්‍රාය.
3. ස්වභාවය ; ආකාරය.
4. රස නිෂ්පත්තියට හේතු වන හැඟීම.

භාවරූප

නා.ප්‍ර. සත්ව ශරීරයට පුරුෂ ස්වභාවය හා ස්ත්‍රී ස්වභාවය ගන්වන රූප ; පුරුෂ භාවරූපය හා ස්ත්‍රීභාව රූපය.

භාවසන්නය

නා. විස්තරාත්මක නොවූ සාමාන්‍ය තේරුම ; කෙටි සරල අර්ථය.

භාව්‍යතාව

(පාරිභා.) නා. විය හැකි බව ; අනුමානයෙන් සිතිය හැකි බව.

භාවාත්මක

1. වි. භාවය හෙවත් හටගැනීම ආත්ම කොට ඇති; විද්‍යමාන වූ.
2. හැඟීම් පුබුදුවන.

භාවානුවාදය

[භාව + අනුවාදය]
නා. මූල ග්‍රන්ථයේ කරුණුවලට අමතරව බාහිර කරුණු ඇතුළත් කොට කරනු ලබන පරිවර්තනය.

භාවාර්ථය

1. නා. ලුහුඬු අදහස ; සාමාන්‍ය අරුත.
2. (ව්‍යාක.) ශබ්ද ප්‍රවෘත්ති නිමිත්ත ප්‍රකාශනය.

භාවික

වි. ස්වභාව ගතිය වූ ; ගතිය ඇති.
1. නා.ප්‍ර. ස්වභාව ගතිය.
2. අලංකාරයක්.

භාවිකථනය

නා. අනාගත වාක්‍යය ; මතු සිදුවන දේ කීම.

භාවිත

වි. පුරුදු කරන ලද ; භාවිතයට සුදුසු.

භාවිතය

නා. ව්‍යවහාරය ; පාවිච්චිය ; පුරුදු කිරීම ; අභ්‍යාසය.

භාවිතව්‍ය

වි. වැඩිය යුතු වූ ; පුරුදු කළ යුතු වූ.