සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1211

මල්ලව

නා.ප්‍ර. පොර බැදීම ; අත් මිටින් ඇනීම ; චීනාඩිය.

මල්ලෑල්ල

(කථා.) නා. දොර කවුලු ආදියෙහි වාතය ලැබීම පිණිස සවි කරන ලද කැටයම් කැපූ ලෑල්ල.

මල්ලිකා

1. නා.ප්‍ර. ඉද්ද, සීනිද්ද, බෝලිද්ද වශයෙන් වර්ග කිහිපයක් ඇති ගස් වර්ගය.
2. දෑසමන්.

මල්වටය

1. නා. මල් මාලාව ; මල් කළඹ.
2. මලින් කළ පන්දුව ; මාලා ගුළාව.
3. මල්මිටිය.

මල්වඩම

නා. මල්වලින් තැනූ දාමය හෙවත් මල්දම ; මල් සුඹුලුව ; මල්මාලාව.

මල්වත්ත

1. නා. නා නා වෘක්ෂලතා ආදිය වවා ඇති භූමිය ; උද්භිද උද්‍යානය ; මල් වැවූ භූමි පෙදෙස ; මල් ඉඩම ; පුෂ්පෝද්‍යානය.
2. මහනුවර මල්වතු විහාරය පිහිටි ස්ථානය.

මල්වරනවා

ක්‍රි. ගොයම පීදෙන්නට ආසන්නව වී කරල මෝදුවේගන එනවා.

මල්වරය

නා. ගැහැනු ළමයකුගේ වැඩිවිය පැමිණීම ; ප්‍රථම වරට ඔසප්වීම.

මල්වෙඩි

නා.ප්‍ර. අලංකාරය සඳහා උත්සව අවස්ථා අවසානයේ දී පත්තු කරන ගිනි වෙඩි විශේෂය.

මල්සර

1. නා.ප්‍ර. පුෂ්ප නමැති ඊය.
2. මල් හීවලින් විදින්නා වන අනංගයා.

මල්සැවු

1. නා.ප්‍ර. මල් ඊයෙන් විදින දුන්න.
2. මල් ඊ විදින දුන්න ගත් තැනැත්තා ; අනංගයා ; මල්සරා.

මල්සෝළුව

නා. මල්වඩම.

මලානික

වි. ප්‍රාණවත් භාවයෙන් තොර වූ ; මැලවුණු.

මලාපකර්ෂය

[මල + අපකර්ෂය]
නා. කුණු පහ කිරීම ; පිරිසිදු කිරීම.

මලාපවහනය

[මල + අපවහනය]
නා. කුණු කසල සෝදා හැරීම ; මල සෝදා හැරීම.

මලාමැලි

නා.ප්‍ර. ලොකු කුඩා මල් ; නන් වැදෑරුම් මල් ; කුඳු මහත් පුෂ්ප.

මලාව

1. නා. යමක් දැමීමට හෝ තැබීමට උපකාර වන භාජනය.
2. වළන් වසන භාජන විශේෂයක් ; අඩි වළඳ ; මඩක්කුව.
3. කොරමරුව ; කොරහ.
4. පැන් භාජනය ; ගුරුමලාව ; පැන් කෙණ්ඩිය.
5. රසවිත ; ඔඩම.
6. මුව සෝදා දමන භාජන විශේෂයක් ; කෙළමලාව ; පඩික්කම.
7. ආහාර ගැනීම සඳහා භාවිත වන බඳුන ; තලිය ; තැටිය.
8. පහන් දැල්වීම සඳහා භාවිත තැටිය.
9. ජලය ඇති විල.
10. (ප්‍ර.යෙදේ) මල්ල.

මලාසම

නා. කුණු පහවීම ; මල දුරු වීම.

මලින

1. වි. කිලුටු ; අපවිත්‍ර ; දූෂිත.
2. මැලවුණු ; මලානික වූ.

මලී

1. නා.ප්‍ර. මල ; පුෂ්පය.
2. වැදි අඟන.
3. මල් ඇත්තී ; මාලාකාරි.
4. කාල හංසයා.

මලු

1. නා.ප්‍ර. බාල සහෝදරයා ; මල්ලී.
2. ඥාතියා.
3. කැබෙල්ල ; කෑල්ල.
4. පන්, කෙඳි, නූල්, රෙදි ආදියෙන් වියන ලද බෑගය ; පැස.

මලුකම්

නා.ප්‍ර. (විනය.) උපසම්පදා කර්මය.

මලුපුව

නා. මල් පොකුර ; මල් කැන.

මලුපෙත්

නා.ප්‍ර. විහාරාදියෙහි මාලක පන්තිය ; මලුපෙළ.