සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1285

යථෝක්ත

වි. ඉහතින් කී ; කලින් කී ; මුලින් ප්‍රකාශ කළ.

යදගත්

වි. පොරොන්දු වූ ; බාර වූ.

යදණ්ඩ

නා.ප්‍ර. යකඩ පොල්ල ; යකඩ මුගුර ; නාරස්සනය ; අලවංගුව.

යදම

නා. යකඩ දම්වැල ; අයෝදාමය.

යද්ගරුක කර්මය

නා. කරන ලද කුසල හෝ අකුසල කර්මවලින් වඩා බලවත් කර්මය.

යදාසන්න කර්මය

නා. මරණය සිදුවන අවස්ථාවේ දී සිහියට නැගෙන කුසල හෝ අකුසල කර්මය.

යදැල්

1. නා.ප්‍ර. යකඩ කම්බිවලින් කරන ලද දැල ; යකඩ දැල.
2. යකඩ මලකඩ ; යබොර.

යදි

වි. අනුන්ගෙන් ඉල්ලා යැපෙන ; හිඟන ; යාචක ; අයැද සිටින.
නි. ඉදින් ; යම්හෙයකින්.

යදිනවා

ක්‍රි. පිහිට ඉල්ලනවා ; කන්නලව් කරනවා ; යාඥා කරනවා.

යදියා

නා. යාචකයා ; හිඟන්නා ; ඉල්ලන්නා.

යනවා

1. ක්‍රි. එක් තැනක සිට තවත් තැනකට යෑම කරනවා ; ගමන් කරනවා ; ප්‍රයාණය තරනවා.
2. (කල්) ගතවෙනවා ; (කල්) පසුවෙනවා.
3. (යමක්) අතහැර යනවා ; නැතිවෙනවා ; ප්‍රාණය නිරුද්ධ වෙනවා.
4. කියනවා ; පවසනවා.

යන්තමින්

ක්‍රි.වි. ස්වල්ප වසයෙන් ; ඉතා මඳ ලෙසින් ; ඉතා සුළුවෙන්.

යන්ත්‍ර තෙල්

(පාරිභා.) නා. යන්ත්‍රයේ මනා ක්‍රියාකාරිත්වය හා ගෙවීයාම අඩු කිරීම සඳහා යන්ත්‍රයට යොදන තෙල් ; ලිහිසි තෙල්.

යන්ත්‍ර දඬු අඬුව

(පාරිභා.) නා. යාන්ත්‍රික ව ක්‍රියා කරවන ලෝහමය දඬුඅඬුව.

යන්ත්‍ර දෙදරුම

(පාරිභා.) නා. යන්ත්‍රයේ ගැස්ම ; යන්ත්‍රයක මනා ක්‍රියාකාරිත්වයට බාධා කරන ගැස්ම.

යන්ත්‍ර පරිපාලක

(පාරිභා.) නා.ප්‍ර. යන්ත්‍රවල පරිපාලනය භාර ව සිටින තැනැත්තා.

යන්ත්‍ර බරුව

නා. යන්ත්‍රයක ඝර්ෂණය හෙවත් ගැටීම් දරා සිටින කොටස ; යන්ත්‍ර බෙයාරිම.

යන්ත්‍ර භාෂාව

නා. මයික්‍රෝ ප්‍රොසෙසරය වටහාගන්නා භාෂාව ; පරිගණක දලාංග සමඟ කෙළින් ම සම්බන්ධකම් පැවැත්විය හැකි පහළ මට්ටමේ භාෂාව.

යන්ත්‍ර මන්ත්‍ර

නා.ප්‍ර. භූත බලවේග නිසා ඇතිවෙතැයි සලකන දුරු කිරීම සඳහා උපයෝගී කරගනු ලබන අභිචාර විධි ; යන්ත්‍ර බැඳීම් සහ මැතිරීම්.

යන්ත්‍ර රාමුව

(පාරිභා.) නා. යන්ත්‍රය වට කළ රාමුව.

යන්ත්‍ර විද්‍යාව

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර නිර්මාණය උගන්වන ශාස්ත්‍රය.

යන්ත්‍ර ශිල්පි

(පාරිභා.) නා.ප්‍ර. යන්ත්‍ර විද්‍යාව දත් තැනැත්තා ; යාන්ත්‍රිකයා.

යන්ත්‍ර සූත්‍ර

නා.ප්‍ර. වේගය, බලය හෝ ශක්තිය නිපදවීම සඳහා වූ උපකරණ.

යන්ත්‍රණය

නා. යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය; සත්ත්ව ශරීරයේත් ශාකවලත් අභ්‍යන්තරයේ විවිධ කොටස් අතර සිදුවන ක්‍රියාවලිය ; ස්වභාවයෙන් ම සැපයී ඇති ක්‍රියාවලිය.