සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1295

යාමනය

නා. ක්‍රමවත් කිරීම ; විධිමත් කිරීම ; නියමිත ක්‍රමයකට ගැළපීම.

යාමය

1. නා. රාත්‍රි කාලයෙන් තුනෙන් පංගුව ; රැයේ ප්‍රථම, මධ්‍යම සහ පශ්චිම යනුවෙන් හැඳින්වෙන තුන් යාමය.
2. දවසෙන් හයෙන් කොටසක්.
3. සදෙව් ලොවෙන් එකක නාමය.
4. ඉවසිල්ල ; සංයමය ; නැවතීම.

යාමලය

නා. කුට්ටම ; යුවළ ; යුගලය.

යාම්ඊම්

නා.ප්‍ර. ගමනාගමනය ; (තැනකින්) නික්මී යාම සහ ආපසු පැමිණීම ආදී වශයෙන් ගමන් කිරීම.

යාම්‍යාව

නා. දිශාවක් ; දකුණු දිග ; දක්ෂිණ දිශාව.

යාමිනිය

නා. (යාම ඇත්තී යනු වාච්‍යාර්ථයි) රැය ; රාත්‍රිය.

යාමිනීපතියා

නා. රාත්‍රියට අධිපතියා ; චන්ද්‍රයා.

යාමෙ

කථා. නා. මැදිරැයෙන් පසුව එන රාත්‍රී කාලය.

යාය

නා. කෙත් හෝ වතු හෝ ගණනාවක් එක එකට යා වී ඇති බිම් පෙදෙස ; ළඟ-ළඟ පිහිටි කුඹුරු හේන් සමූහය ; එකට යාව පිහිටි විශාල ප්‍රදේශය.

යාර කෝදුව

නා. අඩි තුනක දිග එකවර මැනීමට ගන්නා දිග මිනුම ; යාරයක දිගින් යුත් කෝදුව.

යාරය

1. නා. දිග දුර මැනීමේ ඒකකයක් ; අඩි තුනක අඟල් තිස්හයක හෝ දිග.
2. ඒ දිගින් යුත් කෝදුව.

යාරියාව

නා. වර්ෂාව සමඟ සුළං හැමීම හඳුන්වන නාමය.

යාල

නා. ධාන්‍ය මැනීම සඳහා භාවිත කරන ලද මිනුම් ඒකකයක්.

යාල් කරනවා

ක්‍රි. කමතේ දී වී මනිනවා ; යාල් දමනවා.

යාව

නි. යම්තාක් ; යම් දෙයක් පවත්නා තෙක් ; සිද්ධියක අවසානය දක්වා.

යාවකාලික

වි. තාවකාලික ; දැනට පවතින.
නා.ප්‍ර. යම් කාල සීමාවකට පමණක් වලංගු.
1. මධ්‍යාහ්න කාලය තෙක් භික්ෂූන්ට වැළඳිය හැකි කන බොන දේ; යව්කැලි.

යාවජීව

වි. ජීවිතාන්තය දක්වා ; දිවි ඇතිතාක්.

යාවජීව වාර්ෂිකය

(පාරිභා.) නා. වාර්ෂික මුදල් ගෙවීම ; ජීවිතාන්තය දක්වා බලපාන ලෙස තැන්පත් මුදල් යෙදවීමේ ක්‍රමයක්.

යාවත්කාල කරනවා

ක්‍රි. කිසියම් ගොනුවක ඇති දත්ත වෙනුවට වඩාත් අලුත් දත්ත ආදේශ කරනවා ; පවතින සංස්කරණය වෙනුවට අලුත් සංස්කරණයක් ආදේශ කරනවා.

යාසය

(පාරිභා.) නා. අධික ක්‍රියාකාරිත්වය නිසා ඇති වන වෙහෙස මහන්සිය.

යාළණු

නා.ප්‍ර. යාළුවා ; මිත්‍රයා ; හිතවත් තැනැත්තා.

යැටිය

නා. යෂ්ටිය ; ලීය ; සිහින් දඩුව.

යැදි

වි. ආරාධිත ; යාච්ඤා කළ ; යාචිත.

යැදීම

භා.නා. යාච්ඤා කිරීම ; කන්නලව් කිරීම ; ආයාචනය.