සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1297

යුක්තිය පසිඳලනවා

ක්‍රි. සාධාරණය ඉටු කරනවා ; නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා.

යුක්ලෝරින්

(පාරිභා.) නා.ප්‍ර. ක්ලෝරීන් හා ක්ලෝරීන් පෙරොක්සයිඩ් මිශ්‍රණයක්.

යුකැයිනැයින්

(පාරිභා.) නා.ප්‍ර. මැලේරියා ප්‍රතිජීවක ඖෂධ විශේෂයක්.

යුග

(පාරිභා.) වි. ක්ෂීරපායි සත්ත්වයන් ගේ අක්ෂිකූපයේ යටි පැත්තෙහි තිබෙන අස්ථිමය චක්‍රය පිළිබඳ වූ.
1. නා.ප්‍ර. දෙක ; ජෝඩු ; බාන්.
2. අවධි ; කාලසමය.
3. වියගස්.

යුග කියනවා

ක්‍රි. මහ පිරිත් දේශනයේ දී දෙනමක් විසින් පිරිත් සජ්ඣායනය කරනවා.

යුග බණ

නා.ප්‍ර. ආසන දෙකේ බණ ; ආසන දෙකක භික්ෂූන් දෙ නමක් වැඩ සිට කරන ධර්ම දේශනය.

යුග මාත්‍රය

නා. වියගහක දුර ප්‍රමාණය ; වියදඩු ප්‍රමාණ දුර ; භික්ෂුවක් මඟ යනවිට වටපිට නොබලා ඉදිරිය බැලිය යුතු දුර ප්‍රමාණය.

යුගත

1. නා. යුගයක අවසානය ; යුගාන්තය ; කල්පාන්තය.
2. අත්දෙක ; දෙඅත ; දෑත.

යුගදර

[යුග + අදර]
නා.ප්‍ර. දෙතොල ; අධර යුග්මය.

යුගදිවිය

නා. දෙදෙනකු එක් ව විසීම ; අඹුසැමි ජීවිතය ; විවාහ ජීවිතය.

යුගන්ධර

නා.ප්‍ර. මහාමේරු පර්වතය වටා පිහිටි සේ විශ්වාස කරන ලබන සප්තකූට පර්වතවලින් එකක්; යුගඳුරු පව්ව.

යුගපට

(පාරිභා.) නා.ප්‍ර. 1. බීජාණු මාතෘ සෛල න්‍යෂ්ටියේ ද්විතීය විභාජනයේ දී වර්ණ දේහය දෙපටක් ව විහිද යන අවස්ථාව.
2. වර්ණ දේහයෙන් බෙදී යන පට යුවල.

යුගය

1. නා. දෙක ; ජෝඩුව ; බාන.
2. අවධිය ; කාලය ; සමය.
3. වියගහ.

යුගල

නා. දෙක ; දෙදෙනා ; යුග්මය ; කුට්ටම.

යුගල තාරකා

නා.ප්‍ර. එක වටා එක කරකැවෙමින් වරින්වර දීප්තිය වෙනස් කර ගන්නා තාරකා ජෝඩු ; යුග තරු ; යුග්ම තාරකා.

යුගසවු

නා.ප්‍ර. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වන සැරියුත් මුගලන් යන රහතන් වහන්සේලා.

යුගහොරුව

නා. ඔරු දෙකක් එක්තැන් කොට සාදාගනු ලබන ජන යාත්‍රා විශේෂයක් ; අඟුල.

යුග්ම රාශිය

නා. මිථුන ලග්නය.

යුග්ම සංඛ්‍යාව

නා. ඉතිරි නොවී දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යාව ; ඉරට්ටේ සංඛ්‍යාව.

යුග්මය

නා. දෙක ; යුවල ; යුගලය ; ද්විත්වය.

යුගාන්තය

නා. කල්පයක අවසානය ; යුගයක කෙළවර ; ලෝක විනාශය සිදුවන අවස්ථාව.

යුගාමාශ අස්ථිකාව

යුග+ආමාශ අස්ථිකාව (පාරිභා.) නා. ඉස්සාගේ ආමාශය තුළ පිහිටි මාලාමාශ අස්ථිකාවේ එක් එක් පැත්තේ ඇති අස්ථිකා යුග්මය.

යුගැස

[යුග + ඇස]
නා. ඇස්දෙක ; දෑස ; දෙනෙත ; නෙත් යුවල.

යුජ

1. නා.ප්‍ර. යුගල.
2. සන්ධි කරන්නා ; වඩුවා.