සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1329

රවි සංක්‍රාන්තිය

නා. හිරු එක් රාශියකින් අනික් රාශියකට යෑම.

රවිකවචය

නා. ඉරු ග්‍රහයාගෙන් ඇති වන අපල දුරු කිරීම සඳහා භාවිත මන්ත්‍රය.

රවිකිඤ්ඤය

නා. තත් සහිත තූර්ය භාණ්ඩයක් වයලීනය.

රවුන්

1. වි. වටකුරු ; කවාකාර ; චක්‍රාකාර.
2. ගෝලාකාර.

රවුඵ

1. නා.ප්‍ර. ඈත පුරාණයේ දී ලක්දිව විසූහයි සැලකෙන බලවත් රජෙක් ; රාවණ රජ.
2. මාත්‍රා 19ක් 20ක් ඇති එළිසම සහිත පාදවලින් යුත් සිංහල කාව්‍ය විරිතක්.

රවුම

නා. වෘත්තය ; වටය.

රවුම් උල්පීර

(පාරිභා.) නා. රවුම් වූ ද, ක්‍රමයෙන් සිහින් වන්නා වූ ද තලයක් ඇති පිරී ප්‍රභේදයක්.

රවුම් කියත

(කථා.) නා. යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන වෘත්තාකාර කියත ; රෝද කියත.

රශ්මි පෙට්ටිය

(පාරිභා.) නා. රශ්මි ධාරාවක් පරාවර්තනය කිරීමට සලස්වන උපකරණයක් ; ආලෝක පරාවර්තන පේටිකාවක්.

රශ්මි විද්‍යාඥ

නා.ප්‍ර. රෝග විනිශ්චය සඳහා විකිරණය උපයෝගි කර ගැනීමේ විද්‍යාව ප්‍රගුණ කළ විකිරණ ශිල්පියා.

රශ්මිය

නා. රැස් දහර ; කිරණ ; ආලෝක ධාරාව.

රස

1. නා.ප්‍ර. දිය ; ජලය ; වතුර.
2. ඉස්ම ; ඕජස ; යුෂ ; සාරය.
3. දිවට දැනෙන රසය.
4. කලාත්මක නිර්මාණයක ඇති ගුණය.
5. රසදිය ; රහදිය ; මර්කරි.
6. මල් පැණි.
7. හයේ සංඛ්‍යාව ; සය ; ෂට්.
8. ආලය ; ආදරය , ස්නේහය.
9. ප්‍රීතිය ; සතුට ; සොම්නස ; ආස්වාදය.
10. තෙත්ගතිය ; තෙතමනය.
11. හඳ ; සඳ ; චන්ද්‍රයා.
12. ඇසිල්ල ; මොහොත.
13. ගෙන්දගම්.
14. රැස් ; රශ්මිය.
1. වි. මිහිරි ; මධුර ; රසවත්.
2. ශරීරයේ දෝෂ තත්ත්වයක් සම්බන්ධ.
3. රසායනික.

රස ඕජාව

1. නා. වැළඳූ ආහාරයෙන් උපදනා යුෂය.
2. පොළොවෙහි ඇති ධාතු කොටස් පරිපාකයෙන් ඇතිවන සාරය.

රස කපුරු

(පාරිභා.) නා. දරුණු විෂ වර්ගයක් ; ම’කියුරින් ක්ලෝරයිඩ්.

රස චිකිත්සාව

1. නා. රසායනික ක්‍රමයන් භාවිත කර රුධිරයේ හා පටකවල ඇති ජනකයන් නැසීම.
2. රන්, රිදී, තඹ ආදී ලෝහ වර්ගයන් ඖෂධ සංයෝගයට යෙදීම.

රස ධමනි

නා.ප්‍ර. අනුභව කළ ආහාරයෙන් උරා ගැනෙත රසය ශරීරය පුරා ගෙන යන සියුම් නහර.

රස ධාතු

1. නා.ප්‍ර. ආහාරවල පෝෂ්‍යදායක කොටස.
2. කෑම දිරවීමට උපකාරි වන ශරීරයේ ඕජස්.

රස ධාරා

1. නා.ප්‍ර. ජල පහර ; ජලකඳ ; දිය දහර.
2. රැස් කඳ ; රශ්මි ධාරාව.
3. රසදිය ධාරාව.

රස නහර

1. නා.ප්‍ර. පැසවූ ආහාරයෙහි ඇති පෝෂ්‍යදායක කොටස හෙවත් රස ඕජස ශරීරයෙහි පතුරුවා හරින නහර ; ශ්‍රෝතස්.
2. ශරීරයට දැනෙන හැඟීම් ආදිය මොළයට ගෙන යන ස්නායු.

රස පරීක්ෂකයා

නා. යම් යම් දේ රසායනික ලෙස විග්‍රහ කොට පරීක්ෂා කර බලන්නා ; රස විශ්ලේෂකයා.

රස පහර

නා.ප්‍ර. දිය පහර ; ජල ප්‍රහාරය.

රස පහස

නා. ස්පර්ශ රසය.

රස පුෂ්පය

(පාරිභා.) නා. රසදිය හා ක්ලෝරයිඩ් සංයෝගය.

රස මසවුළ

නා. මස් මාංශ හා අවුළුපත් සහිත රසවත් ආහාරය.