සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 138

අපිස්සතොස්

වි. ලද දෙයින් සතුටු වන; අපිස් බවින් හෙවත් අල්පේච්ඡතාවෙන් හට ගැනෙන; සන්තෝෂයෙන් යුත්.
නා.ප්‍ර. ලද දෙයින් සතුටු වීම; අල්පේච්ඡතාව හා සන්තෝෂය.

අපිළිවෙත්

නා.ප්‍ර. වැරදි පිළිවෙත; දුෂ් ප්‍රතිපත්තිය.

අපිළිවෙළ

නා.ප්‍ර. පිළිවෙළක් නැති බව.

අපීතික

(පාරිභා.) වි. (සත්ව.) කහමදය සවල්පයක් ඇති නැතහොත් කහමදය නැති (=alecithal).

අපුත්‍රකයා

නා. දරුවකු නැති තැනැත්තා; පුත්‍රයකු නැති තැනැත්තා.

අපුනරාවර්තික

නා. ආපසු නොපැමිණීම; නැවත නොඉපදීම.

අපුලනවා

1. ක්‍රි. ගලේ ගසා රෙදි සෝදනවා; රෙදි සෝදනවා.
2. (කථා.) ක්‍රි. පහර දෙනවා; ගුටිබැට දෙනවා; තළනවා.

අපූර්ව

1. වි. පෙර නොවූ; අමුතු.
2. වි. පුදුම; අද්භූත.

අපූරු

1. වි. පුදුම සහගත; අද්භූත.
2. (කථා.) වි. ඉතා හොඳ.

අපේක්ෂකයා

නා. බලාපොරොත්තු වන්නා; තනතුරු විභාගාදියට ඉදිරිපත් වන තැනැත්තා.

අපේක්ෂාව

නා. බලාපොරොත්තුව; ආශාව; කැමැත්ත.

අපේක්ෂිත

වි. අපේක්ෂා කරන ලද; බලාපොරොත්තු වූ; කැමති වන ලද.

අපේත

වි. වෙන් වූ; පහ වූ.

අපේරණය

(පාරිභා.) නා. නියම මාර්ගයෙන් ඉවත්ව යෑම; විපථනය; නොමග යෑම.

අපොන්තමේන්තුව

නා. නඩු තීන්දු පිටපත.

අපොස්තල්

නා.ප්‍ර. (ක්‍රිස්ති.) ධර්මදූතයා; ධර්මදානය සඳහා ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්මදූත දොළොස් දෙනා.

අපොළනවා

ක්‍රි. අත්පුඩි ගසනවා; අත්පොලසන් දෙනවා.

අපෝ වෙනවා

1. (කථා.) ක්‍රි. අමතක වෙනවා.
2. ක්‍රි. පුරුදු නැති වෙනවා.
3. ක්‍රි. එපා වෙනවා.

අපෝහක

වි. තර්කානුකූල (=dialectic).

අපෝහනය

1. නා. තර්කණය; තර්කණ ශක්තිය යොදා සැක ආදිය දුරු කිරීම.
2. (පාරිභා.) නා. අඩු කිරීම.

අපෝහය

1. නා. (න්‍යාය.) බැහැර කිරීම.
2. නා. සුව කිරීම.
3. නා. තර්ක කිරීමෙන් සැක දුරු කිරීම.
4. නා. අපර තර්ක බැහැර කිරීම.
5. නා. ප්‍රශ්නයට ඇතුළත් නොවූ දෙය බැහැර කිරීම.

අපෝහවාදය

(පාරිභා.) නා. (දර්ශන.) තර්ක කිරීමෙහි කලාව.

අඵල

1. වි. ගෙඩි හට නොගත්; පලදාව නැති; වඳ.
2. වි. පලක් නැති; ප්‍රයෝජනයක් නොමැති; නිෂ්ඵල.
3. වි. අශුභ.

අඵාසු

වි. අපහසු; දුෂ්කර.