සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1515

විජයදළහම්

නා.ප්‍ර. දිනුම නිමිති කොට පිඹින තූර්ය විශේෂයක්.

විජයබා කොල්ලය

නා. කෝට්ටේ රාජ්‍යය තුළ ඇති වූ දේශපාලන පෙරළියක් හඳුන්වන නාමය.

විජයාවතරණය

නා. විජය කුමරු (ලංකාවට) ගොඩ බැසීම.

විජලනය

1. නා. අණුවකින් ජලය ඉවත් කිරීම ; විජල කිරීම ; මස්, එළවළු ආදි යම් ද්‍රව්‍යයක් කල්තබා ගැනීම සඳහා එයින් තෙතමන ඉවත් කිරීම.
2. ශරීරයේ පටකවලින් ජලය ප්‍රමාණයට වඩා ඉවත් ව යාම ; ඩහදිය, වමනය ආදිය හේතුවෙන් ශරීරය වියළීම.

විජලමද්‍යසාරය

නා. නිර්ජලීය මද්‍යසාරය ; රෙක්ටිෆයිඩ් ස්ප්‍රීතු වලින් ලබාගන්නා වූ එතිල් ඇල්කොහොලය.

විජහනය

නා. අත්හැරීම ; දුරුකිරීම.

විජහිත

වි. අත්හරින ලද.

විජ්ජත්

වි. සංගීතකාරක ; ගාන්ධර්ව.

විජ්ජතා

නා. සංගීතඥයා.

විජ්ජා

1. නා.ප්‍ර. මායා ; ඉන්ද්‍රජාල ; ඇස්බැන්දුම.
2. විද්‍යාව ; ඥානය.

විජ්ජාචරණසම්පන්න

වි. අෂ්ට විද්‍යාවලින් හා පසළොස් චරණ ධර්මවලින් යුක්ත (බුදුරජාණන්වහන්සේගේ නවඅරහාදි බුදුගුණ සම්බන්ධව යෙදේ).

විජ්ජාධර

වි. අද්භූත විජ්ජා දරන්නා වූ ; මන්ත්‍ර ආදි විද්‍යා දත්.
නා.ප්‍ර. අහසින් යා හැකි බලයක් ඇති දේව කොට්ඨාසය.

විජ්ජු

නා.ප්‍ර. විජ්ජුල්ලතාව ; විදුලිය.

විජ්ජුල්ලතාව

නා. විදුලිය ; විදුලි ආලෝක ධාරාව.

විජ්ජුවේධිය

නා. දුනු විදමන් ක්‍රමයක් වූ විදුලිය එළියෙන් විදීම.

විජ්ජෝත

වි. දිලිසෙන ; බබළන.

විජාත

වි. බිහි කළා වූ ; වැදූ.

විජාතක

නා.ප්‍ර. අවජාතකයා.

විජාතික

වි. පිට ජාතියකට අයත් ; අන්‍ය ජාතික ; විදේශික.

විජානනය

නා. විශේෂ දැනීම ; මනා වූ දැනීම.

විජායන

නා.ප්‍ර. බිහි කිරීම ; ප්‍රසූත කිරීම.

විජාරක

නා.ප්‍ර. වෙන් කිරීම ; නිමා කිරීම ; අඩු කිරීම ; අවකරණය.

විජිත

වි. දිනන ලද ; දිනූ.