සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1547

විලිමුව

නා. රැළි සහිත මුව ඇත්තා ; රිළවා.

විලිස්සනවා

ක්‍රි. දත නියවනවා.

විලිසියානුව

නා. වැනීසියෙන් ගෙන ආ පිරිසිදු රත්රන් ; එම රනින් කරන ලද කාසිය.

විලීන

1. වි. ද්‍රව වූ ; උණු වී ද්‍රව වූ.
2. උණු වූ.

විලීවෙනවා

ක්‍රි. පැසවනවා ; පරිපාකයට යනවා.

විලුප්ත

වි. නැති වී ගිය ; මැකී ගිය ; විනාශ වී ගිය.

විලුප්ත ගංගාව

නා. විලෝප වූ ගංගාව ; ඉස්මත්තේ දිය පහරවල ජලය අනෙක් ගංගා විසින් අල්වාගත් පසු ඉතිරිවන ගංගාව.

විලුම්පනය

1. නා. පැහැර ගැනීම; කොල්ලකෑම.
2. වැනසීම ; නැති කිරීම.

විලුඹ

නා.ප්‍ර. යටිපතුලේ මුල් කෙළවර.

විලුළිත

වි. සෙල වූ ; චංචල වූ ; කම්පිත වූ.

විලේඛ

1. නා.ප්‍ර. වයිරම ; සෛලවල පිටත දාරයන්හි ඇති නොපැහැදිලි වයිරම්.
2. ග්ලැසියරයක් පාෂාණ සුන්බුන් ඇදගෙන යාම නිසා එහි සෑදෙන සීරීම් ලකුණු.

විලේපනය

1. නා. ශරීරයෙහි ආලේප කිරීම සඳහා සඳුන් ආදියෙන් සාදන ලද කල්කය ; විලවුන්.
2. උපයෝගය ; තැවරීම.

විලේශ

නා.ප්‍ර. බිලවල වසන තලගොයි ආදීන් අයත් වන සත්ව වර්ගය.

විලොම්

වි. විරුද්ධ ; විපරීත ; අනුකූල නොවූ.

විලෝකනය

1. නා. බැලීම ; අවලෝකනය.
2. විශේෂයෙන් බැලීම ; ලෝකානුකම්පාවෙන් බුද්ධාඞ්කුරයන් බලන පස්මහ බැලුම්.

විලෝචන

1. නා.ප්‍ර. ඇස.
2. පෙනීම.

විලෝචනය

නා. ඇළලීම ; කැලඹීම.

විලෝපනය

1. නා. නැසීම.
2. කොල්ලකෑම ; පැහැර ගැනීම.

විලෝපියා

නා. අනෙක් සතුන් ගොදුරු කරගන්නා සතා.

විලෝපී

වි. විරෝධී ; විපත්තිකර.

විලෝම

1. වි. අනුකූල නොවූ ; විරුද්ධ ; විපරීත.
නා.ප්‍ර. විරුද්ධ ලෙස ගැනීම.

විවක්ෂාව

1. නා. පැවසීමට ඇති කැමැත්ත ; ප්‍රකාශ කිරීමට ඇති අභිප්‍රාය.
2. අර්ථය.

විවක්ෂිතාර්ථය

නා. කීමට අදහස් කළ අරුත ; අභිප්‍රේතාර්ථය.

විවග

නා.ප්‍ර. විවිධ වර්ග ; වෙනස් වෙනස් ජාති ; බොහෝ ජාති.