සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1696

සන්තෙපුල්

නා.ප්‍ර. ප්‍රියවදන් ; ප්‍රිය වචන.

සන්තෝෂය

නා. සිතෙහි පහළවන ප්‍රියජනක හැඟීම ; ප්‍රීතිජනක හැඟීම.

සන්ථත

වි. අතුරන ලද ; එලන ලද.

සන්ථරණය

නා. ඇතිරිය ; ඇතිරිල්ල.

සන්ථවය

1. නා. ඇසුරු කිරිම ; සේවනය.
2. සංසර්ගය ; මෙවුන්දම.

සන්ථාගාරය

නා. පොදු රැස්වීම් ශාලාව ; සභා ශාලාව.

සන්ථානය

නා. සබඳතාව ; සම්බන්ධය.

සන්දංශ යන්ත්‍රය

නා. සිවි, මස්, ශිරා, ස්නායු ආදියෙහි හැන් ඇති උල් උදුරා දමන (වෛද්‍ය) උපකරණ විශේෂයක නාමය.

සන්දංශ ශෘංගය

(පාරිභා.) නා. (සත්ව.) අරක්නිඩාවන්ගේ එකම සන්දංශික පුරෝමුඛ උපාංග යුවළ.

සන්දංශික

(පාරිභා.) (සත්ව.) වි. සන්ධිපාදිකයන්ගේ උපාංගයක අවසාන පුරුකට කලින් තිබෙන පුරුක විශාල වී, විකරණය වී අවසාන පුරුකත් සමඟ කතුරක තල මෙන් අල්ලන අඬු බවට පත් වූ.

සන්දංශික උපාංගය

(පාරිභා.) නා. සන්දංශික අප්‍රධාන අවයව.

සන්දනය

නා. වැගිරීම ; ගලා බැසීම.

සන්දර්භය

නා. රචනා විලාසය ; ප්‍රබන්ධ ක්‍රමය.

සන්දර්භානුගතය

නා. (පාරිභා.) යම්කිසි නිර්මාණයකට අනුව කරන විස්තර දැක්වීම ; විග්‍රහය.

සන්දර්ශනය

නා. (නාට්‍ය ආදිය) උත්සවාකාරයෙන් කරන පෙන්වීම ; ප්‍රදර්ශනය.

සන්දාන පට්ටය

නා. බැඳීමට ගන්නා යොත ; කඹපට.

සන්දාපනය

නා. ගලන්නට සැලැස්වීම.

සන්දිග්ධය

1. නා. සැකය ; සන්දේහය.
2. කාව්‍ය දෝෂයක්.

සන්දිට්ඨ

වි. මනා සේ දකින ; සම්‍යක් දෘෂ්ටි ඇති.

සන්දීපනය

1. නා. දැල්වීම ; (ගිනි) ඇවිලවීම.
2. තියුණු කිරීම.

සන්දීප්තිය

නා. (භෞති.) දැඩි උෂ්ණත්වය නොවන වෙන යම් හේතුවක් නිසා ආලෝකය නිකුත් වීම.

සන්දෘෂ්ටිය

නා. මනා කොට දැකීම ; යහපත් දැකීම.

සන්දෙ

(කථා.) නා.ප්‍ර. 1. වෙළඳාම් පොළ.
2. සමූහය.

සන්දෙනවා

ක්‍රි. ශබ්ද කරනවා ; හඬ නඟනවා.