සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1814

සියුරග සමන්නා අඳුර

නා. අංග සතරක් සම්පූර්ණ වූ ගන අඳුර ; අමාවක, මැදියම්රිය, ඝනවනාන්තරය, වැහි වලාවෙන් වැසුණු අහස යන අංග සතරින් යුක්ත වූ අන්ධකාරය ; අන්ධකාරයේ අති උග්‍රතම අවස්ථාව.

සියුරඟ සෙනඟ

නා.ප්‍ර. අංග හතරකින් සම්පූර්ණ වූ සේනාව ; ඇත්, අස්, රිය, පාබල යන කොටස් හතරකින් යුක්ත වූ යුද සේනාව.

සියුරාසැකි

නා.ප්‍ර. සතර අසඞ්ඛය.

සියුරුහන් බානවා

ක්‍රි. දෙතොල එකට එකතු කොට පිඹීමෙන් හඬ නඟනවා ; උරුවන් බානවා.

සියුවත

නා. මුහුණු හතරක් ඇති තැනැත්තා ; මහා බ්‍රහ්මයා.

සියුසස්

නා.ප්‍ර. (අභි.) චතුස්සත්‍යය ; චතුරාර්ය සත්‍යය ; බුදුන් වහන්සේ ලොවට හෙළි කළ දුක, දුකට හේතුව, දුක නැති කිරීම (නිර්වාණය) දුක නැති කිරීමේ මඟ යන සත්‍ය හතර.

සියුසැට ආභරණ

නා.ප්‍ර. ආභරණ සැටසතර ; සිව්සැටබරණ.

සියෙව්සිරි

නා.ප්‍ර. සමූහයක් එක් වූ තැන ඇති ශෝභාව ; සමාගම් ශ්‍රීය.

සියො

1. වි. ස්වකීය ; තමන්ට අයත් වූ.
2. එකතු වූ ; සමඟි වූ.

සියොත්

1. නා.ප්‍ර. පක්‍ෂියා ; කුරුල්ලා.
2. කෑඳැත්තා.

සියොලඟ

නා.ප්‍ර. සියලු ශරීරය ; මුළු සිරුර.

සිර

නා.ප්‍ර. මුදුන ; මස්තකය ; හිස ; ශීර්ෂය.

සිරක්නා

නා.ප්‍ර. පරිබ්‍රාජකයා ; පැවිද්දා.

සිරක්නි

නා.ප්‍ර. සිල් රක්නා තැනැත්තිය ; පරිබ්‍රාජිකාව.

සිරගෙය

1. නා. සිපිරි ගෙය.
2. බාහිර සබඳතාවලින් ගහන ස්ථානය.

සිරබාරය

නා. සිර කිරීම ; අත් අඩංගුවට ගැනීම.

සිරස

1. නා. හිස ; ශීර්ෂය.
2. මාතෘකාව ; තේමාව.

සිරස්

(පාරිභා.) වි. 1. ක්ෂිතිජ තලයට සෘජුකෝණික.
2. අක්ෂය එල්ලෙහි වූ.
3. ලම්බාකාර.

සිරස් ඛණ්ඩය

(පාරිභා.) නා. සිරස් ඛණ්ඩාංකය ; තිරස් ඛණ්ඩාංකයක් ඡේදනය කරන අක්ෂයකට සමාන්තර සෘජු රේඛාවක්.

සිරස් ඛාදනය

(පාරිභා.) නා. සෘජු ලෙස ඛාදනය වීම ; කෙලින් අතට සෝදා පාලුවීම හෝ දිය වී යාම.

සිරස් තලය

නා. ප්‍රවෘත්තියක අන්තර්ගතය දක්වන මාතෘකාව ; ශීර්ෂ පාඨය ; හෙඩිම.

සිරස් පත

1. නා. බුද්ධ ප්‍රතිමාවක හිස මුදුනේ පටන් ඉහළට විහිදෙන සේ සාදා ඇති කොටස.
2. නැට්ටුවන් වැනි අය හිසෙහි පලඳින පලඳනාව.

සිරස් සූල

නා.ප්‍ර. හිසේ කැක්කුම ; හිසරුදාව.

සිරා වේධය

නා. වෛද්‍යවරුන් පාවිච්චි කරන ශල්‍ය ආයුධයක් ; නහර විදින කටුවක්.