සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 204

අහේමය

නා. ආහාර හිඟකමින් ඇතිවන දුර්වලකම; කුසගින්න; හාමත; වෙහෙස; විඩාව.

අහෝ

නි. ඛේදය ශෝකය ආදිය හැඟවීමෙහි යෙදෙන නිපාතයක්.

අහෝසි

1. වි. විපාක නොදෙන; නිෂ්ඵල; නිරර්ථක.
2. වි. අවසාන; ඉවර; කම්මුතු .

අළ

1. නා.ප්‍ර. කකුළුවාගේ අණ්ඩ.
2. නා.ප්‍ර. ගෝනුස්සාගේ වලගෙහි විෂ සහිත තුඩ.

අළඹ

නා. ලුණුලේවාය.

අළාමුළාව

නා. හානිය; විපත්තිය.

අළිංචිය

නා. විනාශය.

අළු

නා.ප්‍ර. යමක් දැවීමෙන් ඉතිරි වන කුඩු; භස්ම.
වි. අළු පැහැ.

අළුපද්ද

1. නා. අළු දිය පෙරන පෙරහන.
2. (කථා.) නා. රෙදි ඇපිල්ලීමේ දී භාවිත කරන අළු දිය දමන හැළිය.

අළුබදාදා

නා. (ක්‍රිස්ති.) කොරැස්ම කාලය පටන් ගන්නා බදාදා දිනය.

අළුව

1. නා. ආළකය; ඇතුන් බඳින ටැඹ.
2. නා. ඇඳ කකුල්වලට තබන ලී ආධාරය.
3. නා. හැඳි එල්ලා තැබීමට තනා ඇති රාමුව; හැඳි අළුව.
4. නා. රෙදි වියන යන්ත්‍රයේ හරස් නූල් තද කරන උපකරණය; රෙදි වියන යන්ත්‍රය.
5. නා. පොරෝ ආදියෙන් ගස් කැපීමේ දී ඇදේට කරන කැපුම.
6. නා. තත් සහිත සංගීත භාණ්ඩයක් වාදනය සඳහා ගැනෙන දුන්න.
7. නා. ආකාරය; අන්දම.
8. නා. රැහැන් ආදියෙන් තර කොට බැඳීම නිසා ශරීරයෙහි ඇති වන බැමි සටහන.
9. නා. ඇටයක පියල්ල; බීජ පියල්ල.

අළෙවිය

1. නා. වියදම; වැයවීම.
2. නා. විකිණීම; වෙළඳාම.

ආ

1. නා. යන්න සිංහල හෝඩියේ දෙවන අකුර; ස්වරාක්ෂර අතුරෙන් දෙවැන්න; අ යන්නෙහි දීර්ඝ ස්වරය.
2. නා. ජීවත් වන කාලය; ආයුෂය.
3. නා. ආදායම; අයබදු ආදියෙන් ලැබෙන මුදල; බද්ද.
නි. පුදුමය, කම්පාව ආදි හැඟීම් ප්‍රකාශ කිරීමේ ද අවධානය යොමු කරවීමේ ද යෙදෙන නිපාතය.
වි. ආවා වූ; පැමිණි.

ආංකික අගය

(පාරිභා.) නා. අංකවලට අයත් වූ වටිනාකම; සංඛ්‍යාත්මක අගය (=numerical value).

ආංගුලික

වි. ඇඟිලි වැනි; ඇඟිලි පිළිබඳ; ඇඟිලි මෙන් බෙදී ඇති.

ආංශික

(පාරිභා.) වි. පැත්තේ පිහිටි; පාර්ශ්වික (=fractional, partial)

ආංශිකය

(පාරිභා.) නා. කොටස; ඛණ්ඩය.

ආකඩ්ඪනය

නා. ඇදීම; තමන් දෙසට ඇදීම.

ආකන්දය

(පාරිභා.) නා. කඳෙහි හෝ මුලෙහි ඇතැම් ශාකවල පොළොව යට පිහිටි ආහාර රැස් කර තබා ගන්නා අංකුර සහිත කොටස (=turber).

ආකම්පනය

නා. සෙලවීම; චංචලවීම; ගැස්ම; කම්පනය.

ආකර කර්මාන්තය

(පාරිභා.) නා. පතල් කර්මාන්තය (=mining).

ආකරකරුවා

නා. පතල් කම්කරුවා.

ආකරය

නා. පොළොව තුළ පවතින ඛනිජ වර්ග හාරා පොළෝ මතුපිටට ගනු සඳහා කනින වළ.

ආකර්ණනය

නා. ඇසීම; ශ්‍රවණය කිරීම.