සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 203

අහිත

වි. හිතවත් නොවූ; හානිකර.

අහිතකර

වි. අවැඩ සලසන; අනර්ථදායක.

අහිනවා

1. (කථා.) ක්‍රි. (ලී ආදි ඝන ද්‍රව්‍යවල) මතුපිට පතුරු හරිනවා.
2. ක්‍රි. ගෙඩියක ලෙල්ල හෝ පොත්ත පිහියකින් කපා හරිනවා.
3. ක්‍රි. උදලු ආධාරයෙන් වල් පැළෑටි මුලින් ම ඇද කපා හරිනවා.

අහිපාත

(කථා.) වි. අසරණ; දිළිඳු; දුගී.

අහිමාන

වි. උපද්‍රව සහිත; ජනශුන්‍ය; පාළු.

අහිමි

වි. ස්වාමියකු නැති; හිමි නැති; අස්වාමික.

අහිරි

වි. ලජ්ජා නැති; නිර්ලජ්ජි.

අහිරුපු

නා.ප්‍ර. සර්පයන්ගේ සතුරා වන මොනරා.

අහිවාතක

නා.ප්‍ර. සර්ප විෂ වාතය හා එක් වීමෙන් හට ගනිතැයි පුරාණයෙහි සලකනු ලැබූ දරුණු වසංගත රෝගයක්.

අහිවිද්‍යාව

නා. සර්ප විෂ දුරු කිරීමේ ශාස්ත්‍රය.

අහු

1. නා. අස්ස; මුල්ල.
2. නා. කොළ සහ ගෙඩි බෙහෙත් සඳහා ශාන්තිකර්ම කටයුතු සඳහා ද ගැනෙන ගස් වර්ගයක්.

අහු වෙනවා

1. ක්‍රි. යමකුගේ ග්‍රහණයට පත් වෙනවා; යමකට බැඳෙනවා; වසඟයට පත් වෙනවා.
2. ක්‍රි. වාහනයකට යට වෙනවා.
3. ක්‍රි. රැවටෙනවා.

අහුකොන්

නා.බහු. වියා නිම වූ පැදුරු ආදියෙන් කපා හරිනු ලබන පන් නූල් ආදියෙහි අනවශ්‍ය කැබලි.

අහුප

(කථා.) නා. නොසරුප් කථා; අසභ්‍ය කථා.

අහුපෑවත

1. නා. අස්වැන්න; පලදාව.
2. නා. පෙනුම; හැඩරුව.

අහුර

නා. අසුර.

අහුරු අත්ත

(කථා.) නා. හිසට උඩින් අල්ලා ගන්නා ආවරණය.

අහුරු ගහනවා

ක්‍රි. අසුර ගසනවා; අසුරුපත් දෙනවා.

අහුලනවා

ක්‍රි. ඇහිඳිනවා.

අහේ

1. වි. හේතු නැති; හේතු රහිත.
2. වි. හේතු ධර්ම රහිත.

අහේතුක

වි. හේතු රහිත.

අහේතුජ

වි. හේතුවකින් නූපන්; හේතු රහිත ව උපන්.

අහේතුව

නා. හේතුවක් අවිද්‍යමාන බව; අභාග්‍යය; අවාසනාව.

අහේනිය

නා. ආහාර හිඟකමෙන් ඇතිවන අමාරුව; හිඟය.