සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 304

උත්පල

නා.ප්‍ර. නිල් මානෙල්; උපුල්.

උත්පලවර්ණ

1. නා.ප්‍ර. නිල් මහනෙල් පැහැය.
2. නා.ප්‍ර. ලංකාරක්ෂක දෙවියෙක්; උපුල්වන්.

උත්ප්ලාවක

(පාරිභා.) වි. ඉල්පෙන හෙවත් නොගිලී පාවෙනසුලු (=buoyant).

උත්ප්ලාවකතාව

(පාරිභා.) නා. ඉල්පෙන ගතිය; ඉහළට තෙරපෙන ස්වභාවය (=buoyancy).

උත්ප්ලාවිත

වි. ඉල්පවූ; ඉලිප්පූ.

උත්ප්ලුත

වි. ඉපිලුණු; උද්දාම වූ.

උත්ප්‍රාසය

නා. උපහාසය; ව්‍යංග්‍යෝක්තිය; මහ හඬින් සිනාසීම; සරදම.

උත්ප්‍රේක්ෂණය

නා. ස්වාභාවික ව සිදු වන දෙයක් අන් පරිද්දෙකින් සිදු වන සේ කල්පනා කිරීම.

උත්ප්‍රේක්ෂාලංකාරය

නා. අචේතනික හෝ සචේතනික යම් වස්තුවක ස්වාභාවික පැවැත්මක් අන් පරිද්දකින් සඳහන් කරන කාව්‍යාලංකාරය.

උත්ප්‍රේක්ෂාව

1. නා. (අලං.) උත්ප්‍රේක්ෂාලංකාරය. ·
2. නා. නිදර්ශනය; උපමාව.

උත්ප්‍රේරකය

(පාරිභා.) නා. රසායනික ප්‍රතික්‍රියාවල වේගය වෙනස් කරමින් ඒ ප්‍රතික්‍රියාව අවසානයේදිත් නොවෙනස්ව සිටින ආගන්තුක ද්‍රව්‍යය (=catalyst).

උත්ප්‍රේරණය

1. (පාරිභා.) නා. උත්ප්‍රේරකයක් මගින් යම් රසායනික ප්‍රතික්‍රියාවක වේගය අඩු වැඩි කිරීම (=catalyst).
2. නා. එහා මෙහා වැනීම.

උත්පාටනය

නා. උගුළුවාලීම ; මුලිනුපුටා දැමීම; සමූල ඝාතනය; වනසාලීම.

උත්පාතය

1. නා. (භූමි චලන, දිශාදාහ, උල්කාපාත, සැඩ සුළඟ, මුහුද නැගීම ආදි අසාමාන්‍ය) උපද්‍රවය.
2. (ආර්ථි.) නා. රටක ආර්ථික ක්‍රියාවලිය පිම්බීමකට පත් වන අවස්ථාව (=boom).
3. නා. නේත්‍ර රෝගයක්.

උත්පාතික

1. වි. (සමුද්‍රය මෙන්) උඩට නැගෙන; ඉපිලෙන.
2. වි. උත්පාතයන් පිළිබඳ.

උත්පාදක

වි. උපදවන; නිපදවන; මැවුම්කාර; ජනක.

උත්පාදක වායුව

(පාරිභා.) නා. කාබන් මොනොක්සයිඩ් හා නයිට්‍රජන් මිශ්‍ර වීමෙන් සෑදෙන වායුව (=producer gas).

උත්පාදන තාපය

(පාරිභා.) නා. යම් සංයෝගයක් එහි සංරචක මූලද්‍රව්‍යවලින් සෑදෙන විට ඒ ක්‍රියාවලියේ දී නිදහස් වන (අවශෝෂණය වන) තාප ප්‍රමාණය (=heat of formation).

උත්පාදනය

නා. ඉපදවීම; ජනනය; බෝ කිරීම හෙවත් බෝ වීම; (නව) නිර්මාණය.

උත්පාදය

නා. ඉපදීම; බිහි වීම; ඇති වීම; ජනිත වීම.

උත්පාද්‍ය කර්මය

නා. (ව්‍යාක.) කර්තෘහුගේ ක්‍රියාවෙන් ඉපදවිය යුතු වූ ඵලය සංඛ්‍යාත කර්මය.

උත්පාද්‍යවේද්‍ය

වි. මීළඟ ආත්ම භාවයේ දී වින්ද යුතු වූ.

උත්පිෂ්ට

වි. (ශරීර කොටස්) තැළුණු; ඇඹරුණු.
නා.ප්‍ර. සන්ධියෙහි අස්ථිකාණ්ඩ දෙක මඳක් තැළීම; ඇට දෙකකින් සන්ධිස්ථානය ඝර්ෂණය වීම.

උත්පීඩනය

නා. ඝට්ටනය කොට පෙළීම; (පයින්) මැඩීම.