සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 316

උද්‍යෝතය

නා. බැබළීම; ආලෝකය; ග්‍රන්ථයක පරිච්ඡේදය.

උද්‍රේකය

1. නා. අධිකත්වය; වේගය.
2. නා. ආමාශගත ව තිබී මුඛයෙන් බැහැර කරන ද්‍රව්‍ය; වමනය.

උදා

1. නා.ප්‍ර. උදාව; සූර්යයාදි ග්‍රහයන්ගේ නැඟීම; උද්ගමය.
2. නා.ප්‍ර. උදෑසන; පාන්දර.
3. නා.ප්‍ර. පහළවීම; හටගැනීම; උත්පත්තිය.
4. නා.ප්‍ර. උදයගිර.
5. නා.ප්‍ර. අභිවෘද්ධිය; ඓශ්වර්යය.

උදා ආබාධය

නා. ගර්භිණියකට මුල් මාසවල උදය කාලයේ දී ඇති වන ඔක්කාරය.

උදා කරනවා

ක්‍රි. නඟනවා; උද්ගත කරනවා; පුබුදුවනවා.

උදා දිනිඳු

නා.ප්‍ර. උදාවෙන සූර්යයා; උදය සූර්යයා.

උදා දෙනවා

ක්‍රි. (හිරු හෝ සඳු) පායනවා; නඟිනවා; පහළ වෙනවා.

උදා දෙස

නා. හිරු උදා වන දිශාව; නැගෙනහිර දිශාව.

උදා රිවි

නා.ප්‍ර. උදාවෙන සූර්යයා; උදය සූර්යයා; උදා හිරු.

උදා වෙනවා

1. ක්‍රි. පායනවා; උද්ගත වෙනවා; පහළ වෙනවා; මතු වෙනවා.
2. (ජ්‍යෝති.) ක්‍රි. අස්ත වූ ග්‍රහයකුගේ ආලෝකය නැවත ප්‍රකෘතිමත් වෙනවා.

උදාකල

නා. ඉර පායන කාලය; උදෑසන.

උදාගම

නා. (රජයේ විශේෂ සැලැස්මක් මත) සංවර්ධනය කළ ගම්මානය.

උදාගිර

නා. උදයගිර.

උදාගිරිඳු

නා.ප්‍ර. උදය පර්වත රාජයා; උදාගිර.

උදාත්ත

1. වි. උදාර; ශ්‍රේෂ්ඨ.
2. (ව්‍යාක.) වි. උස් හඬින් උච්චාරණය කරනු ලබන ස්වරය.
නා.ප්‍ර. (අලං.) උදාත්ත නම් කාව්‍යාලංකාරය.

උදාත්තාර්ථය

[උදාත්ත + අර්ථය]
නා. උදාර අදහස; උසස් අධ්‍යාශය.

උදාන

1. නා.ප්‍ර. ගෙළ පෙදෙසෙහි පිහිටි වාතය; උදාන වායුව.
2. නා.ප්‍ර. සොම්නසින් ළය පිරී ගිය කල පිටවෙන ප්‍රීති වාක්‍යය.
3. නා.ප්‍ර. ඛුද්දක නිකායට අයත් පොතක්.

උදාන ගාථා

නා.ප්‍ර. ප්‍රීති වාක්‍යවලින් සමන්විත ගාථාව; ප්‍රීතියෙන් ප්‍රබෝධ වී ගයන ගී.

උදාර

වි. ශ්‍රේෂ්ඨ; උතුම්; උසස්; මහේශාක්‍ය; මහත්.
1. නා.ප්‍ර. ක්ලේශයන්ගේ ප්‍රබල අවස්ථාව.
2. නා.ප්‍ර. පැරණි සිංහල වන්නම් දහ අටෙන් එකක්.
3. නා.ප්‍ර. උදාරාලංකාරය.

උදාර ප්‍රාණය

නා. (අලං.) කාව්‍ය ශාස්ත්‍රයෙහි දැක්වෙන ගුණයක්; කාව්‍ය නායකයාගේ ගුණ උත්කර්ෂවත් ව ප්‍රකාශ වන අවස්ථාව.

උදාරම

නා. අහංකාර; උඩඟු; ආඩම්බර; උජාරු.
1. නා.ප්‍ර. අහංකාරකම; ආඩම්බරය; උඬඟුකම.
2. නා.ප්‍ර. පෘතුගීසි හා ලන්දේසි ආණ්ඩුකාලයේ දී උතුරු ප්‍රදේශ වැසියන්ට වගාකිරීම සඳහා දෙන ලද ඉඩම.

උදාරම්

වි. අහංකාර; උඩඟු; ආඩම්බර; උදාර.

උදාරාත්මක

[උදාර + ආත්මක]
වි. උදාර භාවයෙන් යුක්ත වූ; උතුම් ගති පැවැතුම් ඇති; ශ්‍රේෂ්ඨ.

උදාරාධ්‍යාශය

[උදාර + අධ්‍යාශය]
නා.ප්‍ර. උසස් හෝ උතුම් අදහස.