සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 390

කටගැබරයා

(කථා.) නා. පුරසාරම් කියන්නා; කටමැත දොඩන්නා; කයිවාරුකාරයා.

කටගෙඩිය

නා. විශාල කට; මහ මුඛය; දැවැන්ත කට.

කටත්තා කර්මය

නා. එක් වරක් කොට සිහියෙන් තුරන් වූ කර්මය; බලවත් කර්ම නැති විට විපාක දිය හැකි කර්මය.

කටන් කටුව

නා. පිත්තල බන්දේසි, මල් බඳුන් වැනි භාණ්ඩවල කැටයම් වැඩ දැමීමට උපයෝගී කරගන්නා කටු විශේෂයක්.

කටපටිය

නා. අසුගේ කටකලියාවට සම්බන්ධ කොට ඇති පටිය.

කටපයාදිය

නා. (ජ්‍යෝති.) හෝඩියේ ව්‍යංජනාක්ෂර ක, ට, ප, ය ආදි වශයෙන් වර්ග කොට ඉලක්කම් වෙනුවට යොදා ගැනීමේ ක්‍රමය.

කටපාඩම

1. නා. ඇසූ හෝ කියැවූ දෙයක් එලෙසින් ම සිතෙහි ධාරණය කිරීම; වන පොත් කිරීම.
2. නා. සිතේ ධාරණය කරගත් දෙය.

කටපැළියාව

1. නා. තොල් ද දිව ද පැළීම ලක්ෂණ කොට ඇති මුඛ රෝගයක්.
2. නා. කටවහ වදිනසුලු කථාව; අව කැපෙන වචන කීම.

කටපුංචා

(කථා.) නා. තුවක්කුව.

කටපුච්චානම්

(කථා.) නා.ප්‍ර. අතිශයෝක්තියෙන් කියන කීම; හපන්කම; පුරසාරම.

කටපුරා

1. ක්‍රි.වි. කට පුරවා; මුඛය පිරෙන්නට.
2. (කථා.) ක්‍රි.වි. හිතට සම්පූර්ණයෙන් ම එකඟ ව; මුළු හිතින් එකඟ වූ.

කටබහ

1. නා. කටවචනය; කථාබහ; කථාව.
2. නා. වාචාලකම; මුඛරිකම.

කටබෙර ගහනවා

1. ක්‍රි. බෙර හඬට සමාන ශබ්දයක් කටින් නිකුත් කරනවා; කටින් බෙර හඬ නංනවනවා.
2. (කථා.) ක්‍රි. පුරසාරම් කියවනවා.

කටමැණ

1. නා. ගෙලෙහි බඳින මැණික.
2. නා. ඇතැම් නාගයින්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික; කණ්ඨ මාණික්‍යය.
3. නා. විෂ්ණු දෙවියන්ගේ ගෙලෙහි බඳින කෞස්තූභ මාණික්‍යය.

කටමැත

නා. වාචාල බස්, පාරට්ටු කතා; පුරසාරම්.

කටමුවා

වි. ලීයෙන් කළ; දාරුමය; කාෂ්ඨමය.

කටයුත්ත

1. නා. කළ යුතු දෙය; කර්තව්‍යය.
2. නා. මංගල ප්‍රස්තාව; ආවාහය හෝ විවාහය.

කටලු කතාව

(කථා.) නා. කටින් කට පවත්නා කතාව; කටකතාව.

කටලුව

නා. නූල් කැටීමේ දී ඉද්දෙන් පිටතට ඇදී එන නූල් එතීම සඳහා ලීයෙන් හෝ ලෝහයෙන් සාදා ගැනෙන උපකරණය.

කටවහ

නා. කටින් පිට කරන වචන නිසා ඇති වන විෂ හෙවත් දෝෂ; කට වචනවල ඇති විපත්තිකාරී බලය; යම් පුද්ගලයකුට හෝ යම් දෙයකට විනාශය ඇති කරන බලයෙන් යුත් වචන.

කටවහ වැදෙනවා

ක්‍රි. කටවහකාරයකු කටින් පිට කළ වචන නිසා විපතට ගොදුරු වෙනවා.

කටවහකාරයා

නා. කටවහ බල සහිත වචන පිට කරන කටක් ඇති තැනැත්තා; කටවහ ඇති තැනැත්තා.

කටවහර

නා. කතා කරන භාෂාව; කථා ව්‍යවහාරය.

කටවාචල්

නා.ප්‍ර. අවිචාරයෙන් කියන වචන; කට හැකර කථා.