සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 423

කර්ණපටහ

(පාරිභා.) නා.ප්‍ර. කන් පතුල; කන් අඩිය; කන් බෙරය (=ear drum).

කර්ණපටහ පටලය

(පාරිභා.) නා. කර්ණ පටහය හෙවත් කන් අඩිය වසා ඇති සියුම් සිවිය (=tympanic membrane).

කර්ණමල

නා.ප්‍ර. කනෙහි උපදින මල; කලාඳුරු.

කර්ණමාලා

නා.ප්‍ර. පැරණි ප්‍රාසාද පියසිවල කොනින් කොනට එල්ලන ලද මල්වැල් විශේෂයක්; කොන්මල්.

කර්ණමූල ජප්පනය

නා. කන්මුලට කොඳුරා කීම; රහස් කීම.

කර්ණය

1. නා. කන; ශ්‍රවණේන්ද්‍රිය.
2. නා. සුක්කානම.
3. නා. කොන.
5. (පාරිභා.) නා. ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණයට අභිමුඛ ව පිහිටි පාදය (=hypotenuse).

කර්ණරසායන

වි. කනට රසායනයක් බඳු වූ; කනට රස ගෙන එන; කන් පිනවන; කන්කලු.
නා.ප්‍ර. කනට මිහිරි වූ රසය; කන් පිනවන ශබ්දය; මිහිරි හඬ.

කර්ණවේධ

නා.ප්‍ර. කර්ණාභරණ පැලඳීම සඳහා කන්පෙත්ත විදීම.

කර්ණසූත්‍ර

1. නා.ප්‍ර. සිවුරක් පඬු පෙවීමේ දී එල්ලීම සඳහා වාටියෙහි බඳනා ලද නූල්.
2. නා.ප්‍ර. කනෙහි පලඳින ආභරණ විශේෂයක්.
3. නා.ප්‍ර. බුදු පිළිම නෙළීමේ දී වැඩහුන් පිළිමයක මැණික් කටු හා ඇස්වට පිහිටිය යුතු ආකාරය තීරණය කරනු සඳහා කනේ සිට ලඹ දෙවනු ලබන නූල.

කර්ණහාරී

වි. කනට මිහිරි; කන්කලු; කර්ණ මධුර.

කර්ණාඞ්ගුලිය

නා. සුළැඟිල්ල.

කර්ණාභරණය

නා. කනෙහි පලඳින ආභරණය; කර්ණ භූෂණය.

කර්ණාමෘත

වි. කනට ඉතා මිහිරි වූ; කනට අමෘතයක් බඳු වූ.

කර්ණාලින්දය

(පාරිභා.) නා. ඇතුළු කන් කුහරය (=vestibule).

කර්ණාවතංසය

නා. කනෙහි පලඳින ආභරණයක්; සිවුසැට ආභරණවලින් එකක්.

කර්ණිකාව

1. නා. කනෙහි බාහිර කොටස; කන්පෙත්ත.
2. නා. කවාකාර හෝ අර්ධකවාකාර වහලයක පරාලවල මුදුන් කෙළවරවල් සම්බන්ධ වන ස්ථානය; කැණිමඬල.
3. නා. මුදුන; කුළ; කූටය.
4. නා. නෙළුම් මලේ කෙමිය; පියුම් ගොටුව.
5.(පාරිභා.) නා. හෘදයවස්තුවේ ඉහළ කාමර දෙකෙන් එකක්; හෘත් කර්ණිකාව (=auricle).
6. (පාරිභා.) නා. පත්‍රයක හෝ අනෙක් අවයවයක හෝ පාදයෙහි තිබෙන කනක් වැනි අවයවය.
7. නා. මලක බීජකෝෂය; ගර්භ කේශරය.
8. නා. කර්ණාභරණය; තෝඩුව.
9. නා. ඇත් සොඬෙහි අග.

කර්තන

නා.ප්‍ර. කැපීම; (නූල්) කැටීම.

කර්තනාංගය

(පාරිභා.) නා. මකුළුවා දැල වියා ගැනීම සඳහා හුය කටින අවයවය (=spinnert).

කර්තරිය

නා. කතුර.

කර්තව්‍ය

නා.ප්‍ර. කළයුතු දෙය; කාර්යය.

කර්තෘ

1. නා.ප්‍ර. කරන්නා; ක්‍රියාවක් කරන තැනැත්තා.
2. නා.ප්‍ර. නිර්මාණය කරන්නා.
3. නා.ප්‍ර. පොත් පත් ලියන තැනැත්තා; ගත්කතුවරයා.
4. (ව්‍යාක.) නා.ප්‍ර. වාක්‍යයක ප්‍රධාන ක්‍රියාව හෝ ක්‍රියා කරන්නා.
5. නා.ප්‍ර. අහංකාරය.

කර්තෘ නාම සන්දර්ශනය

නා. පොත් පත් ආදියෙහි එය කළ කර්තෘගේ තොරතුරු දක්වා ඇති පාඨය හෝ පද්‍යය.

කර්තෘ නිර්දේශය

නා. කර්තෘ හෙවත් කරන්නා දැක්වීම; කර්තෘ හැඳින්වීම.

කර්තෘ භාගය

නා. සංගීත, සාහිත්‍ය ආදි නිර්මාණයක් වෙනුවෙන් එහි නිර්මාණකරුවාට හිමිවන ගණනය කරන ලද මූල්‍යමය ප්‍රතිලාභය.