සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 426

කර්ෂව

නා. වළ; ආවාටය.

කර්ෂාපණය

නා. කහවණුව.

කරා

1. නා.ප්‍ර. අයබද්ද; සුංගම; කරවුවර.
2. නා.ප්‍ර. මුහුදු වෙරළ; මුහුදු තීරය.
නි. ළඟට; වෙතට; සමීපයට; කෙරෙහි.

කරාග්‍රය

[කර + අග්‍රය]
1. නා. අලි ඇතුන්ගේ හොඬවැලේ කෙළවර.
2. නා. අතේ කෙළවර.

කරාටෙ

නා. ආයුධ රහිත ව කරන සටන් කලා විශේෂයක්.

කරාබු

1. නා.ප්‍ර. කුණ්ඩලා භරණය.
2. නා.ප්‍ර. ඖෂධයක් ද කුළුබඩුවක් ද වශයෙන් භාවිත කරන මල් දරන ශාකයක්.

කරාමය

1. නා. වඩුවන් විසින් දොර ජනෙල් ආදියේ ලෑලි වැද්දීමේ දී හා ලෑලි ඇලවීමේ දී ඒවා හිරකර දී තැබීම සඳහා පාවිච්චි කරන යකඩ අච්චු විශේෂයක්.
2. නා. පීප්ප ටැංකි ජලනළ ආදියෙන් ගලා එන ද්‍රව පාලනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන කරකැවිය හැකි වෑල්වයකින් හෝ කරඇණයකින් යුතු උපකරණයක්; ටැප් (=tap).

කරාල

1. වි. භයානක; බිහිසුණු.
2. වි. උස් වූ; ගැවසී ගත්තා වූ.
නා.ප්‍ර. අතු සහිත කොටස හෙවත් කරඬුව; කරටිය.

කරාළ

නා.ප්‍ර. පිඟු පැහැය; කපිල වර්ණය.

කරි

නා.ළ. අලියා; ඇතා; හස්තියා.

කරිංචි කරනවා

(කථා.) ක්‍රි. කලවම් කරනවා; මිශ්‍ර කරනවා.

කරිඝට

නා.ප්‍ර. ඇත්රැළ; ඇත් රංචුව.

කරිච්චි

නා.ප්‍ර. කැසීම; කණ්ඩුතිය.

කරිජ

නා.ප්‍ර. ඇත්පැටියා.

කරිජ්ජ

(කථා.) නා.ප්‍ර. මුහුදු දිය; කරදිය.

කරිමරිය

නා. කරදරය; අවුල.

කරිමුඛ

නා.ප්‍ර. ඇත් මුහුණක් ඇත්තා; ගණදෙවිඳු.

කරිවරේන්ද්‍ර

නා.ප්‍ර. ඇතුන්ගේ නායකයා; ඇත් රජා.

කරිවි

නා.ප්‍ර. මෙවලම; ආයුධය.

කරිස

නා.ප්‍ර. කිරුම් ප්‍රමාණයක්; කළං තුනක බර; කර්ෂය.

කරිසල්ල

(කථා.) නා. දිරා ගිය හෝ ඉරුණු රෙද්ද; කඩමාල්ල.

කරීන්ද්‍ර

නා. ඇත් රජ.

කරීර

1. නා.ප්‍ර. තල්, පොල්, ඉඳි, උණ ආදි ගස්වල බඩ; ගොබය; ගස්වල ඉතා ළපටි පැළය.
2. නා.ප්‍ර. දිය බඳුන; වතුර ජෝගුව.

කරීෂ

1. නා.ප්‍ර. මල; අශුචි.
2. නා.ප්‍ර. ගොමවැරටි.