සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 427

කරීස

1. නා.ප්‍ර. බිම් මිනුම් ක්‍රමයක්; කිරිය; අමුණු හතරක ප්‍රමාණය.
2. නා.ප්‍ර. මල; අශුචි.

කරුංකා

නා.ප්‍ර. වේලන ලද පුවක්.

කරුණ

නා. කාරණය; හේතුව; අදහස.

කරුණා ගුණය

නා. කරුණාව හෙවත් අනුකම්පාව ලක්ෂණ කොට ඇති චිත්ත ස්වභාවය.

කරුණාපරවශ

වි. කරුණාව මුල් කොට ඇති.

කරුණාරසය

1. (අලං. නාට්‍ය.) නා. නව රසයන්ගෙන් එකක්.
2. නා. කරුණාව නමැති ජලය.

කරුණාව

නා. අනුන්ගේ දුකෙහි සිත කම්පා වන ගතිය.

කරුබිත

(පාරිභා.) නා. දොර-ජනෙල්- උළුවහුවලට ඉහළින් තිරස් ව තබන ලී හෝ ගල් හෝ කොන්ක්‍රීට් කඳ; ලින්ටලය.

කරුම

වි. පව්කාර; අවාසනාවන්ත.

කරුමකාර

(කථා.) වි. අවාසනාවන්ත; පව්කාර; කාලකණ්ණි.

කරුමය

1. නා. කටයුත්ත; වැඩය; කර්මාන්තය.
2. නා. වමන විරේකාදී චිකිත්සා කර්මය.
3. නා. අවාසනාව; දුර්භාග්‍යය; අකුසලය; අනිෂ්ට විපාක දෙන කර්මය.

කරුමුල්

නා.ප්‍ර. දුනුකේ කඩොල් ආදි ගස්වල ගසට ආධාර පිණිස කඳෙන් ඇදෙන මුල්.

කරුව

1. නා. ගසක අතු දෙකට බෙදුණු තැන;දෙබල.
2. නා. දෙබලක් සහිත අතු කැබැල්ලකින් තනා ගන්නා ආධාරකය; මුක්කුව.
3. නා. හතරෙන් පංගුව.
4. නා. හවුලෙන් අයිතිය; මහන්සියට ලැබෙන කොටස.
5. නා. අච්චුව.

කරුවළ

1. නා. අඳුර; අන්ධකාරය; තිමිරය; කළුවර.
2. නා. එනම් ගස හා එහි ලීය.

කරුහවුල

නා. පතල් කර්මාන්තයේදී හා හේන් කුඹුරු ගොවිතැනේදී හතරෙන් පංගුවේ කොටස් ක්‍රමයට ඇති කර ගන්නා හවුල.

කරේණු

1. නා.ප්‍ර. ඇතා.
2. නා.ප්‍ර. ඇතින්න.

කරේණුකා

නා.ප්‍ර. ඇතින්න.

කරෝටි

නා.ප්‍ර. හිස්කබල.

කල

1. නා. කාලය.
2. නා. අවස්ථාව; ප්‍රස්තාව.
3. නා. මරණය.
4. නා. යම හෙවත් මරණයට අධිපති දෙවියා.
5. නා. කමත; කලවිට.
6. නා. ස්ත්‍රිය; කාන්තාව.
7. නා. සිත්කලුබව; මනෝඥබව.
8. නා. ස්වාමි පුරුෂයා.
9. නා. කකුළුවා; කක්කුට්ටා.
1. වි. සිහින් හඬ නඟන; මිහිරි හා නොපැහැදිලි හඬ නඟන.
2. වි. දුබල; බොළඳ; නිවට.
3. වි. සිත් අලවන; මනස්කාන්ත.

කලංකය

1. නා. දෝෂය; කිලුට; කැළල.
2. නා. මලක කීලයේ අග්‍රස්ථ කොටස.
3. නා. ප්‍රමාණ කළනොහැකි විශාල සංඛ්‍යාවක්.

කලංගය

(කථා.) නා. පුවක් කොළපතින් සාදා ගනු ලබන මල්ල; කොළපත් ගොට්ට.

කලඑළි කරනවා

1. (කථා.) ක්‍රි. එළි කරනවා; අනාවරණ කරනවා.
2. ක්‍රි. කැලෑ කපා එළි කරනවා.

කලඑළි බහිනවා

(කථා.) ක්‍රි. නැටුම් ශිල්පියකු පළමුවරට ප්‍රසිද්ධියේ රැඟුම් දක්වනවා.

කලඑළිය

1. නා. සුදුසු කාලය; අවස්ථාව.
2. නා. එළිමහන.
3. නා. ආටෝපය; අලංකාරය.