සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 428

කලකලය

1. නා. කැලඹීම සහිත ඝෝෂාව; කෝලාහලය.
2. නා. සටන; යුද්ධය.

කලකිරිය

නා. මරණය; කාලක්‍රියාව.

කලකිරෙනවා

1. ක්‍රි. උකටලී වෙනවා; සංවේගයට පැමිණෙනවා.
2. ක්‍රි. අසතුටු වෙනවා; අමනාප වෙනවා.
3. ක්‍රි. කෝපවෙනවා; උරණ වෙනවා.
4. ක්‍රි. වෙහෙස වෙනවා; පීඩාවට පත් වෙනවා.

කලකෝලාහල

නා.ප්‍ර. අඬදබරය; රණ්ඩුසරුවල; කලබලය.

කලටිය

නා. නොපැසුණු පොල් ගෙඩිය.

කලණ

වි. ප්‍රියමනාප; යහපත්.

කලණ මිතුරා

නා. උතුම් ගුණ ඇති මිත්‍රයා; හිත වැඩ කැමති මිත්‍රයා.

කලණවිය

නා. කල්‍යාණ වූ තැනැත්තිය; මනෝඥ වූ ස්ත්‍රිය.

කලත

(කථා.) නා. ගොන්න; ගොඩ; සමූහය; රාශිය.

කලත්

1. වි. වෙහෙසුණු; විඩාවට පත් වූ.
2. වි. කැලඹුණු; වියවුල් වූ.
නා.ප්‍ර. බිරිය; භාර්යාව.

කලත්‍ර

1. නා.ප්‍ර. බිරිඳ හෝ ස්වාමි පුරුෂයා.
2. නා.ප්‍ර. ස්ත්‍රිය; ගැහැනිය.
3. නා.ප්‍ර. උකුළ; ජඝනය.

කලත්‍ර පරිග්‍රහය

නා. භාර්යාවක පාවා ගැනීම.

කලත්‍ර ස්ථානය

නා. (ජ්‍යෝති.) පුරුෂ කේන්ද්‍රයක භාර්යාව පිළිබඳ ඵලාඵල දක්වන ස්ථානය; කේන්ද්‍රයේ හත් වන ස්ථානය.

කලතුරු

1. නා.ප්‍ර. බිරිඳ; අඹුව.
2. නා.ප්‍ර. ස්ත්‍රිය.
3. නා.ප්‍ර. උකුළ; නිතඹ.
4. නා.ප්‍ර. යෝනිය.
5. නා.ප්‍ර. දීර්ඝ කාලය.

කලදෝ

1. නා.ප්‍ර. රිදී; රජත.
2. නා.ප්‍ර. රන්; රත්රන්.

කලදෝ ගිර

1. නා. රිදී පර්වතය; ඊශ්වර දෙවියන් වසන කෛලාස පර්වතය.
2. නා. රත්රන් පර්වතය.

කලනය

1. (පාරිභා.) නා. තල්, පොල් ආදි ගස්වල කරඬුවෙහි/කරටියෙහි වූ ඉතා සියුම් ගොබ ගණනාවකින් සැදී ඇති කොටස.
2. නා. ප්‍රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව; බීජාංකුරය.
3. නා. ගණිත ක්‍රමයක නාමය (=calculus).

කලන්චිය

1. (කථා.) නා. කලවම් කිරීම; කලවම; මිශ්‍රණය.
2. නා. හකුරු සාදා අවසානයෙහි හැළිය සේදූ වතුර.
3. නා. සූදුපොළ අයිතිකරු සූදුකරුවන්ගෙන් අයකර ගන්නා මුදල; තෝං මුදල.
4. නා. කුඩා පඩික්කම.

කලන්තය

නා. බලවත් පීඩාව; තද වෙහෙස; අධික වෙහෙස නිසා සිරුර තුළ ඇති වන අප්‍රාණිකබව.

කලන්දක

නා.ප්‍ර. ලෙහෙනා; ලේනා.

කලප්

1. නා.ප්‍ර. කලබ; කලාපය; පොකුර
2. නා.ප්‍ර. මොනර පිල.

කලප්පන්න

(කථා.) නා. යම් කටයුත්තක් සදහා අවශ්‍ය උපකරණ; අඩුවැඩිය; මෙවලම්; ආම්පන්න.

කලපාසය

(පාරිභා.) නා. කෝදුවෙන් මැනීමට අසීරු ගෝල හෝ සිලින්ඩරාදි වස්තුවක ඇතුළත හෝ පිටත මැනීමට භාවිත කරන අඬු දෙකකින් යුත් මැනීමේ උපකරණය (=calipers).

කලබ

1. නා. පොකූර; රාශිය; සමූහය; මිටිය; කලාපය.
2. නා. සෙවණැල්ල; ඡායාව.
3. නා. මොනරපිල් වැටිය.
4. නා. තරුණ ඇත් පැටවා.

කලබගෑනිය

නා. කලබලය; නොසන්සුන්කම; අවුල; අරගලය.