සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 429

කලබල

නා.ප්‍ර. ඉක්මන; නොසන්සුන්කම; ව්‍යාකූලබව.
වි. ඉක්මන්; කඩිනම්; නොඉවසිලිමත්.

කලබිම

නා. කමත; කලවිට.

කලබුව

නා. (අභි.) (එක විට උපදනා වූ එක විට නිරුද්ධ වන්නා වූ එක ම නිශ්‍රය ඇති එකතුව පවත්නා වූ) රූපධර්ම සමූහය; කලාපය.

කලම්පය

1. නා. (දොර ජනෙල් ආදියේ) එකිනෙක සම්බන්ධ කළ ලෑලි ශක්තිමත් වන සේ ගසන ලී පටිය.
2. (පාරිභා.) නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට යොදන උපකරණය; අල්ලුව (=clamp).

කලම්බනය

නා. කැලඹීම; ආලෝලනය; ක්ෂෝභය.

කලඹ

නා. කලබ.

කලඹනවා

1. ක්‍රි. අලළනවා; කලතනවා.
2. ක්‍රි. කලබල කරනවා; කම්පා කරනවා.

කලරව

1. නා.ප්‍ර. සිත් අලවන ශබ්දය; මිහිරි හඬ; මධුර නාදය.
2. නා.ප්‍ර. පරවි ධේනුව.

කලල

1. නා.ප්‍ර. සත්ත්වයකු පිළිසිඳ ගැනීමේ දී මවු කුසේ පහළ වන විඤ්ඤාණය සහිත රූප පිණ්ඩයේ ප්‍රථම අවස්ථාව; ශුක්‍රාර්තව සංයෝගයෙන් හටගත් සත්ත්ව බීජාංකුරය; භ්‍රෑණය; කලල බීජය.
2. නා.ප්‍ර. ඇටයක් ඇතුළේ තිබෙන බීජාංකුරය; ප්‍රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව.
3. නා.ප්‍ර. මඩ වගුර; මඩ ගොහොරුව.
4. නා.ප්‍ර. අඳුන; කල්කය; විලේපනය; සුවඳ ආලේපය.

කලල ධරය

(පාරිභා.) නා. කලලය වසා සිටින කොපුව (=embryophore).

කලල බන්ධය

(පාරිභා.) නා. කලලය වසාගෙන ඇති සිවිය; ඩිම්බ බන්ධය; වැදෑමහ (=placenta).

කලල රූපය

නා. (අභි.) කාය දසක, භාව දසක, වස්තු දසක කලාප තුනෙන් යුතු විඥානය සහිත රූප පිණ්ඩය.

කලල සප්තාහය

නා. මවුකුස පිළිසිඳුණු සත්ත්වයකුගේ වයසින් පළමු සතිය; කලලයෙහි පළමු දින හත.

කලල් අගල

නා. මඩ පිරවූ අගළ; පුරාණයේ නගරයක ආරක්ෂාව පිණිස තනා තිබූ අගල් අතුරෙන් එකකි.

කලල්ලම්

[කලල් + කම්]
නා.ප්‍ර. වැපිරීමට පෙර කුඹුරක කැට තළා මඩ කොට පෝරු ගා සම කිරීම.

කලවිට

නා.ගොයම් කොළ මැඬීම සඳහා සකස් කර ගන්නා බිම; කමත.

කලශය

1. නා. කුඩා කළ ගෙඩිය; ඝටය; කුම්භය.
2. නා. පුරාණ මිනුම් ප්‍රමාණයක්; ද්‍රෝණය.

කලස

නා. කූඩා කළය; ඝටය; කෙණ්ඩිය.

කලහය

නා. දබරය; අරගලය; කෝලාහලය; යුද්ධය.

කල්

වි. සිත් අලවන; මනෝඥ; ප්‍රිය; කාන්ත.
1. නා.ප්‍ර. ඇල්ම; ආදරය; ආශාව; කාමය; ශෘංගාරය.
2. නා.ප්‍ර. කාන්තාව; ස්ත්‍රිය; භාර්යාව.
3. නා.ප්‍ර. ස්වාමි පුරුෂයා; වල්ලභයා; කාන්තයා.
4. නා.ප්‍ර. නියමිත කාලය; සුදුසු කාලය; අවස්ථාව; ප්‍රස්තාව.
නි. තෙක්; තුරු.

කල් අරිනවා

1. ක්‍රි. කාලය ගත කරනවා; කල් ඉක්මවනවා; කල් යවනවා; දවසරිනවා.
2. ක්‍රි. කල් දමනවා; මතු දිනකට ප්‍රමාද කරනවා.

කල් අරුත

නා. (ව්‍යාක.) ක්‍රියාව සිදු වන කාලය අඟවන අර්ථය; කාලාර්ථය.

කල් කරනවා

1. ක්‍රි. මිය යනවා; මැරෙනවා; කාලක්‍රියා කරනවා.
2. ක්‍රි. ප්‍රිය කරනවා; ආදරයෙන් සලකනවා.