සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 449

ක්‍රමික විපර්යාසය

නා. අනුක්‍රමයෙන් ඇති වන වෙනස් වීම; ක්‍රමවත් ලෙස ඇති වන වෙනස.

ක්‍රමිකය

නා. අනුක්‍රමයෙන්; අනුපිළිවෙලින් සඳහන් වන දෙය.

ක්‍රමෝන්නත

[ක්‍රම + උන්නත]
වි. ක්‍රමයෙන් උස් ව නැංගා වූ; අනුක්‍රමයෙන් මහත් ව ගිය; ටිකෙන් ටික වැඩුණු.

ක්‍රමෝපක්‍රම

[ක්‍රම + උපක්‍රම]
නා.ප්‍ර. පිළිවෙළ හා උපාය මාර්ගය (=ways and means).

ක්‍රය

නා.ප්‍ර. මිල දී ගැනීම; මුදලට බඩු ආදිය ගැනීම.

ක්‍රය පත්‍රය

නා. මුදලට දුන් දෙයක් පවරා දෙමින් විකුණන්නා විසින් ලියා දෙනු ලබන ලේඛනය; කැරැ පත; ඔප්පුව.

ක්‍රය බද්ද

(පාරිභා.) නා. යමක් මිලයට ගැනීමේ දී ගැනුම්කරු විසින් ගෙවනු ලබන බද්ද (=purchase tax).

ක්‍රය ශක්තිය

නා. භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා රටක ව්‍යවහාර මුදලේ ඇති ශක්තිය; මුදලේ වටිනාකම.

ක්‍රයවික්‍රය

නා.ප්‍ර. මිල දී ගැනීම සහ විකිණීම; වෙළෙඳාම.

ක්‍රයශක්ති සාම්‍යය

(පාරිභා.) නා. මුදල් වර්ගවල දේශීය අගය සහ විදේශීය අගය අතර ඇති ක්‍රය ශක්ති සමතාව (=purchasing parity).

ක්‍රව්‍යකුලය

(පාරිභා.) නා. ගර්භාශය තුළ සම්පූර්ණයෙන් නොවැඩුණු බීජයක් පරිහානියට යෑමෙන් ඇති වන විරූපී ලෝහිතමය මස් වැදැල්ල (=carneous mole).

ක්‍රවුන්කවුන්සල්

නා.ප්‍ර. රජය වෙනුවෙන් උසාවියේ පෙනී සිටීමට හා කථා කිරීමට පත් කරනු ලබන නීතීඥයා.

ක්‍රාන්ත

1. වි. ඉක්ම ගිය; ගමන් කළ; මාරු වුණ.
2. වි. ආක්‍රමණය කළ; යටත් කළ; නැඟුණු.

ක්‍රාන්ති කක්ෂය

නා. හිරුගේ ගමන් මාර්ගය; හිරු අහසෙහි ගමන් කරන්නා සේ පෙනෙන චක්‍රය; සූර්ය කක්ෂය.

ක්‍රාන්ති කලාපය

(පාරිභා.) නා. දේශගුණ තත්ත්ව දෙකකට අයත් කලාප දෙකක් අතර පිහිටි ඒ ද්විවිධ දේශගුණික ලක්ෂණවලින් යුත් භූගෝලීය ප්‍රදේශය (=transitional zone).

ක්‍රාන්ති දෝෂය

නා. මීන-කන්‍යා, මේෂ-සිංහ, මකර-වෘෂභ, මිථුන- ධනු, කටක-වෘශ්චික, කුම්භ-තුලා යන රාශිවල රවි, චන්ද්‍ර දෙදෙනා පිළිවෙළින් ගමන් කිරීම නිසා ඇති වන නක්ෂත්‍ර දෝෂයක්.

ක්‍රාන්ති මාර්ගය

නා. සූර්යයා පෘථිවිය වටා ගමන් කරතැයි සලකනු ලබන කල්පිත මාර්ගය.

ක්‍රාන්ති සමය

නා.ප්‍ර. තත්ත්වය හෝ ස්ථානය මාරුවීමෙන් පවතින කාලපරිච්ඡේදය; සංක්‍රමණ අවධිය; සංක්‍රාන්ති කාලය.

ක්‍රාන්තිය

1. (පාරිභා.) නා. එක් ස්වභාවයක් තවත් ස්වභාවයකට හැරීම; ස්ථානය හෝ තත්ත්වය මාරු වීම; සංක්‍රමණය (=transition).
2. නා. නියම උතුරත්, කොම්පාසුවෙන් දැක්වෙන උතුරත් අතර ඇති කෝණය.
3. නා. යම් ස්ථානයක භූගෝලීය මධ්‍යාහ්න රේඛාවත් චුම්භක මධ්‍යාහ්න රේඛාවත් අතර කෝණය (=declination).
4. නා. ඛගෝල සමකයේ සිට ආකාශ වස්තුවකට ඇති කෝණික දුර.
5. නා. යෑම; ගමන් කිරීම.
6. නා. ඇළ වීම; අවනතිය.
7. නා. හිරු ගේ ගමන් මාර්ගය.

ක්‍රෑර

1. වි. අනුකම්පා රහිත; නපුරු; දරුණු; රෞද්‍ර.
2. වි. සැර; කටුක.
3. වි. ගොරෝසු; කර්කශ.

ක්‍රෑරකෝෂ්ඨය

නා. බඩ වියළීම; මල බද්ධය.

ක්‍රිකට්

නා. එක පිලකට ක්‍රීඩකයන් එකොළොස් දෙනකු ඇතිව කඩුල්ලක් වෙත එල්ල කරනු ලබන පන්දුවකට පිත්තකින් පහර දීම ප්‍රධාන ලක්ෂණය කොට ගත් තරග පන්දු ක්‍රීඩාව.

ක්‍රිට්කල් කෝණය

නා. රශ්මි කදම්බයක් පරාවර්තනය වන අවම පතන කෝණය; උග්‍ර කෝණය; අවධිකෝණය.

ක්‍රිටෝන්

නා.ප්‍ර. ඇතිරිලි, තිරරෙදි ආදිය සඳහා ගන්නා ශක්තිමත් කපු රෙදි වර්ගයක්.

ක්‍රිප්ටන්

(පාරිභා.) නා.ප්‍ර. දුර්ලභ ඒක පරමාණුක වායුමය මූල ද්‍රව්‍යයක්.