සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 455

කාන්දුව

නා. සියුම් සිදුරු සහිත යමකින් ද්‍රව ආදිය මදින් මඳ පිටතට හෝ ඇතුළට වෑහීම; ද්‍රව ආදිය ටිකෙන් ටික වැගිරීම.

කානිවල්

නා.ප්‍ර. සැණකෙළිය; ක්‍රීඩෝත්සවය.

කානුව

1. නා. ජලය බැස යෑමෙන් හෑරුණු හෝ ඒ සඳහා තනන ලද අගල; පොළොව යටින් වතුර බැස්සීමට දමා ඇති නළය හෙවත් පයිප්පය.
2. නා. තුවක්කු, පිස්තෝල ආදියේ ලෝහමය බටය.

කාපලය

(පාරිභා.) නා. එක් බීජයක් ඇති ඩිම්බ කෝෂය හෙවත් පිස්ටලය; අණ්ඩපය (=carpel).

කාප්ප අත්ත

(පාරිභා.) නා. කාප්පයක කුරුපාවේ මුල සිට අත්තක ආකාරයෙන් කාප්ප කකුලට සම්බන්ධ කරන ලද ලීය (=main rafter).

කාප්ප කකුල

(පාරිභා.) නා. කාප්පයක කුරුපාවේ මුදුන් කොණේ සිට කාප්ප බාල්කයේ අග කෙළවරට සවි කරන ප්‍රධාන පරාලය (=principal rafter).

කාප්පය

1. නා. ගොඩනැගිල්ලක වහලේ මුදුන් යටලීය දරා සිටින දාරුමය හෝ අයෝමය කූඩුව.
2. නා. උරහිස් දෙක ම වැසෙන සේ අඳින අත් සහිත කබායක් වැනි ඇඳුම; නිදන විට පෙරවීමට ගන්නා එවැනි ම ඇඳුම.
3. නා. රාජගුරු ප්‍රසාදිතුමා උත්සවාවස්ථාවල අඳින ලෝගු විශේෂයක්.
4. නා. අල්මාරිවල උඩ හෝ යට ලී කූඩුව.
5. (කථා.) නා. විශේෂයෙන් ළමා සාරියට අඳින සැට්ටයේ කර වටා අල්ලන පළල රැළි පටිය.
6. (කථා.) නා. සුරුට්ටුව ඔතා ඇති පිට දුම් කොළය.

කාප්පුව

1. නා. අතේ හෝ පයේ පලඳින වළල්ල; නූපුරය.
2. නා. විවාහයට පෙර මනාලිය අත බඳින නූල; කෞතුකය.

කාපාලික ව්‍රතය

නා. ආහාර පිළිගැනීම සඳහා මිනී හිස් කබලක් රැගෙන යෑමේ වත.

කාපාලිකයා

නා. මිනී හිස්කබලකට ආහාර පිළිගෙන බුදින ශෛව තාපස නිකායට අයත් තැනැත්තා.

කාපාළු

(කථා.) වි. කාලා පාළු කරන; නාස්තිකාර; විනාශකාරී.

කාපික

වි. වානරයකු බඳු; වානර ලක්ෂණ ඇති.

කාපික මානවයා

නා. වානර ලක්ෂණ මෙන් ම මානව ලක්ෂණ ද ඇති සත්ත්වයා.

කාපියෝ

නා.ප්‍ර. කාය ප්‍රයෝගය; ශරීරය හා සම්බන්ධ ක්‍රියාව; කයින් කරන වෑයම; ශරීරය මෙහෙයවීම.

කාපිරි

නා.ප්‍ර. බොකුටු කෙසින් යුතු කළු පැහැති මනුෂ්‍ය වර්ගයක්; කාබෙරි.

කාපුරුෂයා

නා. පහත් නිවට පුද්ගලයා; නින්දිත පුරුෂයා.

කාපෝතිකා

නා.ප්‍ර. පුරාණ කාලයේ භාවිත වූ මද්‍ය විශේෂයක්.

කාබන්

(පාරිභා.) නා.ප්‍ර. වායුගෝලයේ ද ඛනිජ තෙල්, ගල් අඟුරු, දියමන්ති, මිනිරන් ආදියේ ද සත්ත්ව ශරීරවල ද ඇති අලෝහ මූලද්‍රව්‍යයක්.

කාබන් කඩදාසිය

නා. අතින් ලියන පිටපත්, ටයිප් පිටපත් ආදිය ලබා ගැනීමට මුල් කඩදාසියට යටින් තබන කාබන් දැලි මිශ්‍රිත ඉටි තවරන ලද කඩදාසිය; කාබන් කොළය.

කාබන් මොනොක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. පාටක් ගඳක් නැති විෂ වායු විශේෂයක් (=carbon monoxide).

කාබන් ස්වීකරණය

(පාරිභා.) නා. හරිත ශාක විසින් සූර්යාලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් හා ජලය සංයෝජනය කර සරල කාබෝහයිඩ්රේට් නිෂ්පාදනය කර ගැනීම; ප්‍රභාසංශ්ලේෂණය (=carbon assimilation).

කාබන් හරණය

(පාරිභා.) නා. කාබන් ඉවත් කිරීම (=decarbonisation).

කාබන්ඩයොක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. කාබනික ද්‍රව්‍ය ඔක්සිහරණය වීමෙන් ලැබෙන මඳක් ගඳ ඇති අවර්ණ වායුවක් (=carbon dioxide).

කාබනික

වි. සත්ත්ව හෝ ශාක ද්‍රව්‍ය අඩංගු; ඉන්ද්‍රියමය වූ; ඓන්ද්‍රීය.