සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 524

කොරල්

1. නා. තද හිරිගල් ශ්‍රාවය කරන බහුපා කොට්ඨාශයට අයත් සමුද්‍ර ජීවියා.
2. නා. වර්ග කීපයකට අයත් සමුද්‍ර ජීවි බහුපාවන් ගේ ශ්‍රාවයෙන් හට ගන්නා හිරිගල්මය ද්‍රව්‍යයක්.
3. නා. පබළු ඇට; පබළු.

කොරලි වියමන

(පාරිභා.) නා. කුඩා රැළි ඇති වන පරිදි කරන රෙදි විවීමේ රටාවක් (=crepe weave).

කොරවක්ගල

නා. පැරණි ගොඩනැගිලිවල පියගැට පෙළ දෙපසින් මුරගල්වල සිට ඉහළට පවතින වක්‍රාකාර ගල් පුවරුව.

කොරස

1. නා. ගොරෝසුකම; රළුබව; කර්කශ භාවය.
2. නා. හම පිට හට ගැනෙන රළු ලප.
3. නා. පුළුල් මුව සහිත ලොකු මැටි භාජනයක්; කොරහ.
4. නා. වැල් වර්ගයක්.

කොරසම

1. නා. හෘදය; හදවත.
2. (කථා.) නා. ගොරෝසු සම; රළු හම.

කොරසැඩි

වි. ගොරෝසු; රළු; මෘදු නොවූ; කොරහැඩි.

කොර්නර්

නා.ප්‍ර. හදිසි මරණ පරීක්ෂකවරයා.

කොර්පොරාලය

නා. (ක්‍රිස්තු) දිව්‍ය පූජාවේ දී අභිෂේක ද්‍රව්‍ය තබන ඇතිරිය.

කොරා

(කථා.) නා. අත්පා වකුටු වූ හෝ එම අංගයන්ගෙන් කොටසක් ඉවත් කළ තැනැත්තා; නොණ්ඩියා.

කොරි

වි. වකුටු; හැකිළුණු; ගුළි වූ.

කොරිකන්

1. නා.ප්‍ර. හැකිළී ගිය කුඩා බුලත් කොළ.
2. නා.ප්‍ර. වකුටු වී ගිය කන්; හැකිළුණු කන්.

කොරිඩෝරය

නා. ගොඩනැගිල්ලක දෙපස පිහිටි කාමරවලට මැදි ව පිහිටා ඇති ගමන් මාර්ගය; ආලින්දය.

කොරිය

1. (පාරිභා.) නා. ග්ලැසියර්වලට යට වූ ශීත කලාපීය පෙදෙස්වල තිබෙන විශාල වටකුරු පතහ (=corrie).
2. (පාරිභා.) නා. ගල්වල.

කොරොන්චිය

නා. මනාලියන්ගේ හිසෙහි පළඳින ආබරණ විශේෂයක්.

කොරොප්පය

නා. බෝතල ආදිය වැසීම සඳහා එහි කටට ගසන මූඩිය; ඇබය; පොරොප්පය.

කොරොල්ලාව

නා. මලක පෙති සමූහය; මුකුටය.

කොරොස්

වි. ඉතා රළු; ගොරෝසු; ගැටසහිත; ගොරහැඩි; කර්කශ.
නා.ප්‍ර. කට ලොකු භාජන විශේෂයක්; කොරහ.

කොරොස් ස්තරය

(පාරිභා.) නා. මනුෂ්‍ය ශරීරයේ සමට අයත් අපිචර්මයේ බාහිර ස්තරය (=corneum stratum).

කොරොස්ම කාලය

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තු භක්තිකයන්ගේ උපවාස කාලය වූ අළු බදාදා පටන් පාස්කු දින දක්වා (ඉරිදා හැර) දින හතළිහක් වූ කාලය.

කොරොස්හොට

(පාරිභා.) නා.ප්‍ර. අඟක් වැනි හැඩයෙන් යුතු කුරුලු හොටය.

කොල

නා.ප්‍ර. ඉවුර; වෙරළ,

කොලනිය

1. නා. අධිරාජ්‍යයක් යටතේ පාලනය වන යටත් විජිතය; යටත් විදේශය.
2. නා. පෙදෙසක් හෙළි කොට ජනාවාසයක් සඳහා අලුතින් පිහිටුවනු ලබන ජනපදය.
3. (පාරිභා.) නා. වේගයෙන් ගුණනය වන සෛලවලින් සෑදෙන අසම්බන්ධ වූ ගැටිති රාශිය.

කොලපු

1. නා.ප්‍ර. (බිත්ති, කොන්ක්‍රීට්, සීලිම් ආදිය) කපරාරු කිරීමේ දී මැදීම සඳහා පිළියෙල කරනු ලබන සිනිඳු හුණු සිමෙන්ති මිශ්‍රණය.
2. නා.ප්‍ර. තාල වර්ගයේ ගස්වල මල වසා සිටින කොපු.