සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 529

කොළවෙණිය

(කථා.) නා. පිදුරු වෙළු කොට තනා ගනු ලබන රැහැන; පිදුරු වෙණිය.

කොළවෙල්

නා. වගා කරන ලද ගොඩ ඉඩම.

කොළවෙල්ලු

නා.ප්‍ර.බහු. විහාර සන්තක ගොඩ ඉඩම් වගා කළ පිරිස.

කොළවේදණ්ඩ

(කථා.) නා. වේවැල්වලින් තනන ලද ඒ දණ්ඩ.

කොළසුන

[කොළ + අසුන]
නා. කොළ අතුරා ඉඳ ගැනීමට සකස් කරන ලද ස්ථානය; කොළ අතුවලින් තැනුණු ආසනය.

කොළිස්

1. නා. ගසක මුදුන; අතුඅග; දළුව.
2. නා. කෙළයුර.

කොළෙයත්ත

(කථා.) නා. දිය පහරවලින් එතෙර මෙතෙර වීම සඳහා වැල් ගොතා තනාගත් පාලම; වැල් පාලම.

කොළේ එළනවා

1. (කථා.) ක්‍රි. ගොයම් කොළය මැඩවීම පිණිස කමතෙහි විසුරුවනවා; කොළේ බානවා.
2. ක්‍රි. ගොයම් වැඩ ආදියෙහි දී ආහාර බෙදනු පිණිස අතුල්පතට පත් කොළය බහාලනවා.
3. (රූඪි.) ක්‍රි. පල ප්‍රයෝජනයක් ලැබීමට මඟක් යොදා ගන්නවා; තමාට ලැබුණු තනතුරු වරප්‍රසාද ආදිය තමාගේ වාසිය පිණිස පාවිච්චි කරනවා.

කොළේ වහනවා

(කථා.) ක්‍රි. පවතින නියම තත්ත්වය වසන් කරනවා; ඇති තතු සඟවනවා; එළිදරවු නොකර වැඩ කරනවා.

කොළොත්ත

(කථා.) නා. මන්ත්‍ර ගුරුකම් කරන විට පාවිච්චි කරනු ලබන කුඩා අඹ හෝ දෙහි අත්ත.

කොළොප්පම

නා. කවටකම; විහිළුව.

කොළොස්පාඩු කරනවා

(කථා.) ක්‍රි. බාධා කරනවා; අවහිර කරනවා.

කෝ

1. නා.ප්‍ර. තරහ; කෝපය; ක්‍රෝධය.
2. නා.ප්‍ර. කොහා; කොවුලා.
3. නා.ප්‍ර. කඹුරු උදුන; කෝව.
වි. කුඩා; පුංචි.
1. නි. කවර තැනක ද යන අර්ථය.
2. නි. අවධානය ඇති කිරීමෙහි යෙදුමක්.

කෝංකම

(කථා.) නා. ලජ්ජාව නිසා මුලු ගැන්වෙන ගතිය; කෝලගතිය.

කෝකකය

(පාරිභා.) නා. මිනිස් කොඳු ඇට පෙළේ කෙළවර පිහිටි ත්‍රිකෝණාකාර කුඩා ඇටය; අනුත්‍රිකය (=coccyx).

කෝකනද

1. නා.ප්‍ර. රත් නෙළුම් හෝ සුදු නෙළුම්.
2. නා.ප්‍ර. කොවුල් නාද සමාන හඬ නිකුත් කරන වීණාව.

කෝක්

1. (පාරිභා.) නා.ප්‍ර. ගල් අඟුරු වායුව පෙරා ගැනීමේ දී ශේෂ වන සියයට අසූවක් පමණ කාබන් අන්තර්ගත ගල් අඟුරු විශේෂයක් (=coke).
2. නා.ප්‍ර. බෝතලයක් වැනි භාජනයක් වැසීමට ගන්නා මූඩිය.

කෝකියා

නා. ආහාර පිසීමේ වෘත්තියෙහි යෙදෙන්නා; අරක්කැමියා.

කෝකිලන්

(කථා.) වි. කණාටුවීම නිසා උස් වූ.

කෝකිලයා

නා. කොවුලා; කොහා.

කෝචකය

(පාරිභා.) නා. ලේ ගැලීම නවත්වන ඖෂධය.

කෝචොක්

(කථා.) නා.ප්‍ර. විහිළුව; විකාරය; කොලොප්පම; සරදම.

කෝජාරුව

(කථා.) නා. කලබලය; කෝලාහලය.

කෝටරකය

නා. කුඩා කුහරය; කුඩා විවරය (=sinns).