සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 528

කොළපත. කොළපොත

1. නා. ගස්වැල්වල පත්‍රය; ශාකයක කොළය.
2. නා. පුවක් අත්තේ ගහට සම්බන්ධ වී ඇති මල ආවරණය වන පළල් මුල් කොටස.

කොළපාට

නා.ප්‍ර. ශාක විශේෂවල අමු කොළවල සාමාන්‍යයෙන් ඇති වර්ණය; නිලත් කහත් මිශ්‍ර වී සෑදෙන පාට; හරිත වර්ණය; පච්ච පාට.

කොළපාළුව

(පාරිභා.) නා. දුඹුරු පාට තිත් වැටීම මූලික ලක්ෂණ කොට ඇති පැළෑටි සහ ගොයම් කොළ රෝගය (=blast).

කොළපැදුර

1. (කථා.) නා. ගොයම් කොළ දමා ඇදීම සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබ ඇති කෙටි පැදුර.
2. නා. පොල් තල් ඉඳි ආදි කොළවලින් වියන ලද පැදුර.

කොළපැන්

නා.ප්‍ර. කොළ වර්ග තම්බාගත් වතුර.

කොළපැන්හඹු

නා.ප්‍ර. ඖෂධීය ගුණ ඇති කොළ වර්ග කොටා ලබා ගන්නා ලද යුෂ මගින් පිළියෙල කරගන්නා කැඳ; කොළ කැඳ.

කොළපුව

1. නා. තාල වර්ගයේ ගස්වල මල ආවරණය කරන කොපුව.
2. නා. මල් කැකුළක් ආවරණය කරන මණිපත්‍ර කොපුව.
3. (පාරිභා.) නා. භූගත කඳක් ඇති ශාකයකින් උඩට ඇදෙන සපුෂ්ප අංකුරය (=scape).

කොළබීජ

නා.ප්‍ර. සිටවීම සඳහා ගනු ලබන කැපූ රිකිල්ල; අතුකැබැල්ල.

කොළබේරිය

නා. කමතේ දී වීවලින්වෙන් වුණු පිදුරු ඉවත් කිරීම; ගොයම් බේරීම; කොළ වැන්න.

කොළමඩුව

1. නා. කොළ අතුවලින් සෙවිලි කරන ලද මඬුව.
2. නා. වැද්දන් ගේ යක් නැටුමක්.

කොළමාගල

නා. පොල්, තල්, ඉඳි ආදි පත්‍ර විශේෂයකින් වියන ලදු ව විශාල පැදුර; විශේෂයෙන් කමතෙහි භාවිත කරනු ලබන විශාල පැදුරු විශේෂයක්.

කොළමැට්ට

(කථා.) නා. කොළ දිරාපත් වීමෙන් සෑදී ඇති තෙතමනය සහිත ව පවතින පස් ස්තරය.

කොළමුගුර

1. නා. ගසක හෝ පැළෑටියක ගොබය; අංකුරය.
2. නා. හරකුන් හංවඩු ගැසීමේදී යොදනු ලබන ලකුණක්.

කොළමුදුන

1. (කථා.) නා. පෑගීම පිණිස ගොඩ ගසනලද ගොයම් කොළයේ මුදුන් කොටස.
2. නා. පාගනු ලබන ගොයමේ මුදුන.
3. නා. අලුත් සහලින් පිසන ලද බත; අලුත් හාල් බත.

කොළමුදුනා

නා. ගොයම් මැඩවීමේ දී කම්බා කණුව මුලට ම බඳින ගවයා; ප්‍රධාන අම්බරුවා.

කොළඹ

1. නා. වරාය; තීර්ථය; මුහුදුතොට; නැව්තොට.
2. නා. ශ්‍රී ලංකාවේ වර්තමාන වාණිජ අගනුවර.
3. නා. පවුල; කුටුම්බය.
4. නා. හිද ගැනීමට සකස් කළ ආසනය; කොළොම්බුව.
5. නා. කොළොම් ගස.
6. නා. බක්මී ගස.

කොළඹ ක්‍රමය

(පාරිභා.) නා. දකුණු සහ අග්නිදිග ආසිවේ සමූපකාර ආර්ථික සංවර්ධනය පිළිබඳ සැලැස්ම (=colombo plan.) වර්ෂ 1950 දී කොළඹට රැස් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන් හත් දෙනාගේ සාමූහික සංකල්පයක් අනු ව බිහි වූ සැලැස්මකි.

කොළඹුව

1. නා. හිඳ ගැනීම සඳහා සාදන ලද මිටි බංකුව නොහොත් ලී කොටය.
2. නා. මිනිසුන්ගේ හිස් කැපීම සඳහා වධක ස්ථානයක ඇති ලී කොටය; දම්ගෙඩිය.
3. නා. මස් තබා ගැනීම සඳහා ගැනෙන මිටි ලී කඩ; මස් කොළොම්බුව.

කොළය

1. නා. ගස්වැල්වල පර්ණය.
2. නා. කැපූ ගොයම් ගොඩ.
3. නා. පළෑටිය.
5. නා. වස්ත්‍රය.
6. නා. කඩදාසිය.

කොළරුක්

නා.ප්‍ර. සිදුරු සහිත වියලි කඳක් ඇති ගස්.

කොළලාකඩ

නා.ප්‍ර. ලාක්ෂා කෘමීන් නිසා ඇතැම් ගස්වල සෑදෙන ලාකඩ වර්ගය.

කොළවැඩ

1. නා. ගොයම් පිළිබද කටයුතු.
2. (කථා.) නා. පාගන ලද ගොයම් බුරුල් කිරීම.

කොළවැල

1. නා. ලාකිරි වැඩවලින් සැරයටි ආදිය අලංකාර කිරීමේ දී යොදනු ලබන අතු වැල්වල ස්වරූපය දැක්වෙන මෝස්තරය.
2. නා. ගොයම් කොළයේ මුදුන සුළඟේ යෑම වැලැක්වීමට බඳින රැහැන.

කොළවිය

(කථා.) නා. ගොයම් පෑගීම සඳහා කුලී වශයෙන් දෙන වී ප්‍රමාණය.