සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 527
කොහොලාන
නා. පින් තකා පිදූ ඉඩම; කුසලාන.
කොහොලුව
1. (කථා.) නා. රැවටිල්ල; වංචාව.
2. නා. නින්දා සහගත; කවටකම; ඔච්චම.
කොළ
1. නා.ප්‍ර. කටකොන; මුඛයේ කෙළවර.
2. නා.ප්‍ර. හෙණ්ඩුව; ඇත්කටුව.
3. නා.ප්‍ර. ගවයින් හංවඩු ගසන නැමුණු යකඩ කොක්ක.
වි. කිලිටි; අපවිත්‍ර.
කොළ ගහනවා
1. (කථා.) ක්‍රි. කපන ලද ගොයම කමතේ කඳු වශයෙන් සකස් කරනවා; ගොයම් කඳු කරනවා.
2. ක්‍රි. ගොයම් මඩවනවා.
3. ක්‍රි. ගොයම් පෑගීමේ දී මැස්සන් එළවනවා.
කොළ ගෙය
1. නා. ගස්වල අතු එක් වීමෙන් ගෙයක් මෙන් සැදුණු තැන; වදුල.
2. (කථා.) නා. කොළ සෙවිලි කොට කොළවලින් ආවරණය කරන ලද ගෙය.
කොළ තුරුල්ල
නා. දෑතින් ගත හැකි ගොයම් ප්‍රමාණය; ගොයම් තුරුල්ල.
කොළ නැති ගහ
(කථා.) නා. මරණ දණ්ඩනයනට නියමවූවන් මරනු ලබන එල්ලුම් ගහ; පෝරකය.
කොළ නෙළනවා
(කථා.) ක්‍රි. කමතේ දී කොළ මඬවන අවස්ථාවේ මැඩවෙන ගොයම අවුස්සා නොමැඩුණු ගොයම මතුපිටට ගන්නවා.
කොළ පාගනවා
ක්‍රි. කැපූ ගොයමින් වී වෙන් කර ගැනීම සඳහා මිනිසුන් හෝ යන්ත්රසූත්ර හෝ යොදවා ගොයම් පාගනවා.
කොළ බොක්ක
1. (කථා.) නා. බුලත් විටට අවශ්‍ය දෑ දමා ගෙන යන පසුම්බිය; බුලත් මල්ල.
2. නා. තල කොළවලින් සාදන ලද වැසි ආවරණය; බෝගාව.
3. නා. වමාරා කන සතුන් බුදින තණකොළ ආදිය මුලින් ම වැටෙන බොක්ක.
කොළ මඩවනවා
(කථා.) ක්‍රි. හරකුන් ලවා ගොයම් පාගවනවා; ගොයම් මඩවනවා.
කොළ ලණුව
(කථා.) නා. කපන ලද ගොයම් කමතට ඇදීමට පෙර මිටි බැඳීම සඳහා පන් පට්ට ආදියෙන් වියා ගැනෙන සිහින් ලණුව.
කොළ ලනවා
ක්‍රි. කැපූ ගොයම් කුඩා මිටි වශයෙන් එක්රැස් කරනවා; කුඹුරේ (වේලීම පිණිස) උප්පිඩු කරනවා.
කොළ වඩනවා
1. ක්‍රි. කමතේ පළමුවෙන් ගොයම් තැන්පත් කරනවා.
2. ක්‍රි. වී කරල් අවුස්සා අතින් මඩිනවා.
කොළකටුව
නා. ලෝහ තහඩු විද ගැනීමට තනා ගන්නා ලද විදුම් කටුව.
කොළකප්පිය
(පාරිභා.) නා. ලෝහ තහඩු එක පිට එක තබා ගොතන ලද කප්පි විශේෂයක් (=laminated pulley).
කොළකැටිය
1. නා. කපා එකතු කරන ලද ගොයම් ගොඩ; ගොයම් කොළය.
2. නා. මිටට ගන්නා ලද කොළ ටික; කොළ අහුර.
3. නා. පත්‍ර සමූහය; කොළ එකතුව.
කොළගෙඩිය
(කථා.) නා. කමතේ දාගැබක හැඩයෙන් ගොඩ ගහන ලද කැපූ ගොයම; ගොයම් කොළය.
කොළගොටුව
1. (කථා.) නා. කොළවලින් තැනූ ගොටුව.
2. නා. බුලත් හෙප්පුව.
කොළදාව
නා. තෘණ ආදි පැළෑටි සමූහය (=herbage).
කොළදින්
නා.ප්‍ර. ගොයම් කපා පාගා ගැනීම; අස්වැන්න එකතු කිරීම.
කොළදුන්න
(පාරිභා.) නා. වාහන ආදියට සවි කරනු සඳහා තුනී ලෝහ තහඩු කීපයක් එක පිට එක තබා සාදා ගත් දුනු විශේෂය (=laminated spring).
කොළනවා
1. ක්‍රි. රෙදි ආදිය ඇපිල්ලීමේ දී (ධාන්‍ය ආදිය තැලීමේ දී මිටි අතකොළු ආදියෙන් පහර දෙනවා.
2. ක්‍රි. කඩුප්පු ආදියෙන් වාද්‍ය භාණ්ඩවලට ගසනවා; ගැසීමෙන් වාදනය කරනවා; බෙර තම්මැට ආදිය වයනවා.
3. ක්‍රි. විකනවා; කපනවා.
4. ක්‍රි. පොළොවෙහි ගසනවා; බිම හප්පනවා; කොටනවා.