සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 573

ගස් ගෝනා

(කථා.) නා. වඳුරා.

ගස් පේකරනවා

ක්‍රි. ගසක් දෙවියන් වෙනුවෙන් වෙන් කොට තබනවා; පොල් ගස්, කෙසෙල් ගස් ආදිය මෙලෙස පූජා කටයුතු වෙනුවෙන් වෙන් කොට තබයි.

ගස් මදිනවා

(කථා.) ක්‍රි. තෙලිදිය ගැනීම සඳහා පොල් කිතුල් වැනි ගස්වල මල් තළා සකස් කරනවා.

ගස් මුට්ටිය

නා. පොල්, කිතුල් ආදි මල් තැළීම නිසා වෑස්සෙන මීරා එකතු වීම සඳහා ගසෙහි මලට එල්ලන මුට්ටිය.

ගස්ටෙරොපොඩා

(පාරිභා.) නා.ප්‍ර.බහු. මොලුස්කා හෙවත් මෘද්වංගී වංශයට අයත් සත්ත්ව වර්ගය; උදර පාදයෝ.

ගස්තැරිය

නා. ගසක් අතු දෙකකට බෙදී ඇති ස්ථානය; ගස් දෙබල.

ගස්දෙබල

නා.ප්‍ර. ගස්වල අතු බෙදී යන තැන; විටපය; වෙළෙප.

ගස්න

නා.ප්‍ර. ගැටීම; එකට වැදීම; ඝර්ෂණය.

ගස්බුහුර

නා. ගසක සිදුර; ගස් කුඹල; ගස් බෙනය.

ගසා කනවා

1. ක්‍රි. බලාත්කාරයෙන් අල්ලා ගෙන ගොදුරු කොට ගන්නවා.
2. (රූඪි.) ක්‍රි. අන්සතු දේ අයුතු ලෙස අයත් කර ගන්නවා.

ගසාලනවා

1. ක්‍රි. පහරදෙනවා; තළනවා.
2. ක්‍රි. හඬක් නැංවීමට හැකි උපකරණයකට පහර දෙනවා.
3. ක්‍රි. ඉලක්කයකට යමක් වීසි කරනවා.

ගහ

1. නා. ගස; රුක.
2. නා. ග්‍රහ තාරකාව; ග්‍රහයා.
3. නා. ගෙය; ගෘහය.

ගහ ගන්නවා

1. ක්‍රි. ගුටිබැට හුවමාරු කරගන්නවා; කෝලාහල කරනවා; දබර කරනවා.
2. ක්‍රි. ගල ගානවා; උරච්චි කරනවා.
3. (කථා.) ක්‍රි. අමුණා ගන්නවා; සවිකර ගන්නවා.
4. (කථා.) ක්‍රි. රඳවා ගන්නවා; රුවා ගන්නවා.

ගහ දමනවා

ක්‍රි. අහක දමනවා; ඉවත ලනවා; විසි කරනවා.

ගහට

නා. කරදරය; හිරිහැරය; පීඩාව.

ගහටනවා

ක්‍රි. පාගනවා; මඩිනවා; තළනවා; පොඩි කරනවා.

ගහට්ඨ

නා.ප්‍ර. ගෘහස්ථයා; ගිහියා; ගිහිගෙයි වසන්නා.

ගහණ

1. නා.ප්‍ර. ගැනීම; අල්ලා ගැනීම; ග්‍රහණය.
2. නා.ප්‍ර. භාජනය; බඳුන; ධාරකය.
3. නා.ප්‍ර. උසුලන ප්‍රමාණය.
4. නා.ප්‍ර. බැගෑපත් ඉල්ලීම; ඇවිටිල්ල; ආයාචනය.
5. නා.ප්‍ර. ඝ්‍රාණය; ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය.

ගහණත්

නා.ප්‍ර. නාසය අතක් කොට සිටින දෙවියා; ගණදෙවි.

ගහණපුට

නා.ප්‍ර. නාස් සිදුර; නාස්පුඩුව.

ගහතරුව

නා. ග්‍රහයකු ලෙස සලකනු ලබන තාරකාව; ග්‍රහයා.

ගහදොස

නා. ග්‍රහයන්ගෙන් වන දෝෂය.

ගහන නිශ්‍රිත

වි. කැලෑබද ව වෙසෙන; වනගත ව හැසිරෙන.

ගහන මාධ්‍යය

(පාරිභා.) නා. අණු බහුල ව තිබීම නිසා ආලෝකයේ ගමන් කිරීමට අවහිර ඇති වන මාධ්‍යය.