සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 672

ජාතික ආණ්ඩුව

නා. දේශපාලන පක්ෂ සියල්ල ම හෝ වැඩි ගණනක් එකමුතු ව පිහිටුවා ගන්නා ආණ්ඩුව.

ජාතික ආදායම

නා. රටක නිෂ්පාදන භාණ්ඩවල සහ රටවැසියන්ගෙන් සැපයෙන සියලුම සේවාවන්හි මූල්‍ය වටිනාකම්වල මුළු එකතුව.

ජාතික ආරක්ෂාව

(පාරිභා.) නා. අභ්‍යන්තරික වශයෙන් රට රැකීම (=national defence).

ජාතික ඇඳුම

නා. යම් ජාතියකට අයත් වන්නන් විසින් තමන්ට ආවේණික ලෙස සලකන පොදු ඇඳුම.

ජාතික කොඩිය

නා. රටක පුරවැසියන් පොදු සම්මතයෙන් පිළිගත් ධ්වජය; ජාතියක් හෝ රටක් හෝ හඳුන්වන කොඩිය.

ජාතික ගීය

නා. යම් රටක වැසියන් ජාත්‍යභිමානි හැඟීම පළ කිරීම ද සිය රටට අවනතභාවය ප්‍රකාශ කිරීම ද සඳහා උත්සවාවස්ථා ආදියෙහි දී ගැයීම පිණිස සකස් කරගත් ගීය.

ජාතික ධනය

නා. රටක ස්වභාවික සම්පත්වලින් ශ්‍රමයෙන් හා නිෂ්පාදනවලින් උපදින ධනය.

ජාතික භාෂාව

වි. කිසියම් ජාතියක් පාරම්පරිකව භාවිත කරන පොදු බස; රටක බහුතර සංඛ්‍යාව ව්‍යවහාර කරන බස.

ජාතික රාජ්‍යසභාව

වි. මහා මැතිවරණයකින් පත්කර ගනු තෝරා ලබන නියෝජිතයන්ගෙන් සමන්විත මැතිසබය; පාර්ලිමේන්තුව.

ජාතික ව්‍යාපාරය

1. නා. රටක ස්වාධිනත්වය උදෙසා ගෙන යන ව්‍යාපාරය.
2. නා. ජාතික දියුණුව ඇති කිරීමේ වැඩ පිළිවෙළ.

ජාතික වීරයා

නා. සිය ජාතිය නඟා සිටුවීම සඳහා කැප වී වැඩ කළ පුද්ගලයා; ජාතිය වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයා.

ජාතික සමගිය

නා. රටක වෙසෙන විවිධ ජාතීන් අතර එකමුතුකම.

ජාතික හැඳුනුම්පත

නා. පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරනු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත; අනන්‍යතා පත්‍රය.

ජාතිකයා

නා. කිසියම් ජාතියකට හෝ වර්ගයකට අයත් පුද්ගලයා.

ජාතික්ෂය

1. නා.ප්‍ර. උත්පත්තිය ක්ෂය කිරීම; උපත කෙළවර කිරීම; නිවන් දැකීම.
2. නා.ප්‍ර. අභාවය; කාලක්‍රියා කිරීම.

ජාතිකාගම

[ජාතික + ආගම]
නා.ප්‍ර. ජාතියකට අයත් ආගම; ජාතියක පොදු ආගම.

ජාතිකානුරාගය

නා. ජාතිය පිළිබඳ ඇති ඇල්ම; ආදරය.

ජාතිකාභිමානය

නා. ජාතික අභිමානය; සිය ජාතිය පිළිබඳ ව ඇතිවන්නා වූ උදාර හැඟීම.

ජාතිගතිය

(කථා.) නා. සහජයෙන් ලැබුණු ගතිගුණය; උපතින් ලත් පුරුද්ද.

ජාතිද්‍රෝහියා

නා. ස්වකීය ජාතියට එරෙහි ව ක්‍රියා කරන්නා; ජාතියට සතුරු වන තැනැත්තා.

ජාතිදුක

නා. (නැවත නැවත) ඉපදීමේ දුක; සසර දුක.

ජාතිනාමය

නා. (ව්‍යාක.) සත්ත්ව වෘක්ෂ ආදි එක් එක් වර්ගය පොදුවේ හඳුන්වන නාමය.

ජාතිබධිරයා

නා. උත්පත්තියෙන් ම බිහිරා; ජන්මයෙන් ම කන් නොඇසෙන තැනැත්තා.

ජාතිභ්‍රෂ්ටයා

නා. ජාතිය පහත හෙළන්නා; ස්වකීය වර්ගයාට අවමාන කරන්නා.