සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 671

ජාතස්සරය

නා. ස්වාභාවික විල; ඉබේ හැදුණු විල; ස්වයංජාත විල.

ජාත්‍යන්තර

[ජාති + අන්තර]
වි. වෙන වෙන ජාතීන් පිළිබඳ; ජාතීන් අතර වූ; අන්තර්ජාතික.

ජාත්‍යන්තර අධිකරණය

නා. ජාතීන් අතර ඇතිවන නීතිමය ආරාවුල් විසඳීමටත් නීතිගැටලු පිළිබඳ ව එක්සත් ජාතීන්ට උපදෙස් දීමටත් ජාත්‍යන්තර ව පිළිගත් පනත් හා සම්මුති බිඳවැටීමෙන් අගතියට පත් අවස්ථාවක පැමිණිලි කළහැකි එක්සත් ජාතීන්ගේ සංවිධානය.

ජාත්‍යන්තර ණය අරමුදල

නා. ආර්ථික සංවර්ධනය සඳහා ලෝක බැංකුව මගින් රටවල ණයදීම පිණිස යොදවා ඇති ණය අරමුදල.

ජාත්‍යන්තර නීතිය

නා. අන්තර් ජාතික වශයෙන් සම්මුතියෙන් පිළිගනු ලබන නීති පද්ධතිය; ස්වාධීන රාජ්‍යයන් හා අන්තර් ජාතික ආයතනයන් අතර පිළිගැනෙන පොදු නීතිය (=international law).

ජාත්‍යන්තර බැංකුව

නා. වෙන වෙන ජාතීන් අතර හෝ රටවල් අතර ගනුදෙනු හුවමාරුව සඳහා ඇති මුදල් ආයතනය; අන්තර් ජාතික වශයෙන් මුදල් හුවමාරු කටයුතු කෙරෙන බැංකුව.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

(පාරිභා.) නා. ජාත්‍යන්තර විනිමය ස්ථායීකරණය; තුලිත හා ක්‍රමවත් වෙළඳාම දියුණු කිරීම හා (සංවර්ධන කටයුතු සඳහා) මුදල් ප්‍රතිපාදනය පිණිස වූ අරමුදල් සංවිධානය (=international monetary fund).

ජාත්‍යන්තර විනිමය

නා. ජාතීන් අතර මුදල් වර්ග හුවමාරු කෙරෙන මධ්‍යස්ථානට අන්තර් ජාතික ලෙස මුදල් ගනුදෙනු කරන ආයතනය.

ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය

නා. ලෝකයේ කවර බසක වුවද උච්චාරණය ලියා දැක්වීමට හැකි වනසේ සකස් වූ වාග්විද්‍යා සංකේත මාලාව.

ජාත්‍යන්ධයා

[ජාති + අන්ධයා]
නා. උපතින් ම ඇස් නොපෙනෙන්නා; උපන් අන්ධයා.

ජාත්‍යභිමානය

නා. තම ජාතිය පිළිබඳ පවත්නා උසස් හැඟීම.

ජාත්‍යභිවෘද්ධිය

නා. ජාතියේ දියුණුව; දැයේ නැඟුම.

ජාත්‍යර්ථය

නා. ජාතිය යන තේරුම.

ජාත්‍යාදිය

1. නා. ඉපදීම මුල්කොට ඇති සිද්ධි.
2. නා. අවමන් පිණිස හෝ ගර්හා පිණිස ඇද දක්වන හීන කුලවත්බව ආදිය.
3. නා. ජාති ද්‍රව්‍ය යනාදිය.

ජාත්‍යාලය

නා.ප්‍ර. ජාති ආලය; ජාතිය කෙරෙහි ඇති බලවත් ඇල්ම.

ජාත්‍යුන්නතිය

නා. ජාතියේ අභිවෘද්ධිය; දැයේ දියුණුව.

ජාත්‍යුන්මත්තක

[ජාති + උන්මත්තක]
වි. උපතින් ම උමතු; සහජයෙන් සිහි විකල.

ජාති

1. නා.ප්‍ර. ඉපදීම; හට ගැනීම; උත්පත්තිය.
2. නා.ප්‍ර. මවකගේ කුසෙහි හෝ ඕපපාතිකව හෝ හටගන්නා ස්කන්ධය; පංචස්කන්ධය.
3. නා.ප්‍ර. හේතූන් නිසා හටගත් ධර්මස්වභාවය.
4. නා.ප්‍ර. අෂ්ටාර්ය පුද්ගලයන්ගේ උතුම් පැවැත්ම; ආර්යශීලය.
5. නා.ප්‍ර. උත්පත්තිය හා මරණය අතර කාලපරිච්ඡේදය.
6. නා.ප්‍ර. (සමාන) වංශය; නිකාය වර්ගය.
7. නා.ප්‍ර. ජනතාව; රටවැසි සමූහයා; දැය.
8. නා.ප්‍ර. යම්කිසි වර්ගයකට ලැබෙන පොදු නම.

ජාති ලක්ෂණය

1. (පාරිභා.) නා. කිසියම් වර්ගයකට හෝ ජාතියකට පොදු ස්වාභාවික ගුණය.
2. (කථා.) නා. උත්පත්තියෙන් හෝ පරපුරින් ලබන හැඩගැස්ම.

ජාති වාත්සල්‍යය

නා. ජාතියට ඇති සෙනෙහස; ජාතිය පිළිබඳ මහත් ඇල්ම.

ජාති හිතෛෂියා

නා. තම දැයට ඇලුම් ඇති තැනැත්තා; ස්වකීය ජාතියට හිතවත් තැනැත්තා.

ජාතික

වි. ජාතිය වර්ගය හෝ කුලය හා සම්බන්ධ; ජාතියට අයත් හෝ පොදු වූ.

ජාතික අධ්‍යාපනය

නා. රටට ම පොදු වූ ඉගැන්වීම් පරිපාටිය; ජාතික පරමාර්ථයන් අනු ව සකස් වුණු අධ්‍යාපනය.

ජාතික අනන්‍යතාව

නා. ජාතියක් සතු අනන්‍ය සාධාරණ ලක්ෂණය; ජාතියක් අන්‍ය ජාතීන්ගෙන් වෙන් කොට දැක්විය හැකි ලක්ෂණය.