සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 674

ජායමාන

1. වි. උපදින්නා වූ; හටගන්නා වූ.
2. (පාරිභා.) වි. රසායනික ප්‍රතික්‍රියාවකින් සෑදුණු හැටියේ ම හෙයින් අතිශය ප්‍රතික්‍රියාකාරී වූ.

ජායා

(පාරිභා.) වි. ස්ත්‍රි ලිංගික වූ; ජායාංගී(=female).
නා.ප්‍ර. අඹුව; බිරිය; භාර්යාව.

ජායාංගධරය

(පාරිභා.) නා. ඇතැම් මල්වල රේණු හා ජායාංගය අතර දික් වූ ග්‍රාහකය; ඩිම්බකෝෂයට ආධාරක වූ නටුව හෝ වෘන්තය (= gynophore).

ජායාංගය

(පාරිභා.) නා. මලක ස්ත්‍රී කේශර පද්ධතිය (=gynaecium).

ජායාංගි පුෂ්පය

(පාරිභා.) නා. ස්ත්‍රී ලිංගික කොටස පමණක් ඇති මල; ගෑනු මල (=pistillate flower).

ජායාපති

නා.ප්‍ර. අඹුසැමි දෙදෙනා; යුවති පති දෙදෙනා.

ජාරණය

(පාරිභා.) නා. සෛල දිරාපත් වීම (=lysis).

ජාරය

(කථා.) නා. අඩි තුනක හෙවත් අඟල් තිස් හයක දිග; යාරය.

ජාරයා

නා. සොර සැමියා; අනියම් පුරුෂයා.

ජාරී

නා.ප්‍ර. සොර අඹුව.

ජාල කවාටය

නා. දැලක ආකාරයට සිදුරු සිටින සේ තැනූ කවුළුව; ජාලකවුළුව.

ජාලකය

1. නා. යම් ස්ථාන සමූහයක් එකිනෙකට සම්බන්ධ ව පවතින රටාව.
2. (පාරිභා.) (විද්‍යු.) නා. විවිධ විදුලිබල ජනක ස්ථාන යා කෙරෙන සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය.

ජාලධානිය

(පාරිභා.) නා. දැලට සුදුසු නූල නිපදවීම සඳහා මකුළු සිරුරෙහි පිහිටි ග්‍රන්ථය
(=arachnidian).

ජාලපාද

නා.ප්‍ර. සම් සිවියකින් ඇඟිලි බැඳී ඇති (තාරා වැනි ජල ජීවීන්ගේ) පාද.

ජාලම

(කථා.) නා. රැවටිල්ල; මායාව; ඉන්ද්‍රජාලය.

ජාලය

1. නා. දැල.
2. නා. සමූහය; එකමුතුව.

ජාලයෝගය

(පාරිභා.) නා. කොළයක නාරටි හෝ ශරීරයේ නහර දැලක් මෙන් රටාවක් අනු ව විහිදී යෑම (=anastomose).

ජාලහස්තපාද

වි. දැල් කවුළුවක් මෙන් ඇඟිලි සම ප්‍රමාණ වූ අත් පාවලින් යුතු; දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.

ජාලා

වි. දැලක් බඳු; දැලක් මෙන් සිදුරු සහිත වූ.

ජාලානුබද්ධ

[ජාල + අනුබද්ධ]
වි. දැලෙහි බැඳුණු; දැලට හසු වූ.

ජාලාව

1. නා. දැල; ජාලය.
2. නා. දීප්තිමත් ගිනි කඳ.
3. නා. රාශිය; සමූහය.

ජාලිකාව

1. නා. ලෝහමය දැලින් සැදූ යුද ඇඳුම; දැල් සන්නාහය.
2. (පාරිභා.) නා. වමාරා කන සතුන්ගේ දැලක් බඳු දෙවැනි ආමාශය (=reticulum).

ජාවාරම

1. නා. ව්‍යාපාරය; වෙළඳ ව්‍යාපාරික කටයුත්ත.
2. නා. අසම්මත වූ හෝ නීත්‍යනුකූල නුවූ ව්‍යාපාරය.

ජාවාරම්කාරයා

1. (පාරිභා.) නා. වෙළෙන්දා; ව්‍යාපාරිකයා.
2. (කථා.) නා. අයුතු ලෙස ව්‍යාපාරික කටයුතු කරන්නා.