සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 687

ටැපටය

නා. යන්ත්‍රයක චලනය වන කොටසක චලිතය හෝ තල්ලුව පිළිගැනීමට හෝ තවත් තැනකට දීමට උපකාරී වන නෙරු දණ්ඩ.

ටැප්කටුව

නා.ප්‍ර. ලෝහ ඉස්කුරුප්පු සිදුරක ඇතුළු පොට කැපීම සඳහා භාවිත වන ආයුධයක්.

ටැබ්ලට්

1. නා.ප්‍ර. දුම්රියක් පිටත් වන විට එහි රියැදුරාට ලැබෙන අවසර පත්‍රිකාව ඇතුළත් උපකරණය (=tablet).
2. නා.ප්‍ර. රෙදි විවීමේ දී භාවිත කරන උපකරණයක්.

ටැම් ලිපිය

නා. ගල් කණුවක කෙටූ ලේඛනය.

ටැල්ක්

1. (පාරිභා.) නා.ප්‍ර. සායම්, ශරීරාලේපන කුඩු ආදිය සෑදීමට ගැනෙන ඉතා මෘදු ගතියකින් යුතු ඛනිජය (=talc).
2. නා.ප්‍ර. ශරීර ප්‍රසාදනය සඳහා ගැනෙන සුවඳ කුඩු; පව්ඩර්.

ටැලිග්‍රාෆ්

නා.ප්‍ර. විදුලි කම්බි මාර්ගයෙන් ඈත පෙදෙස්වලට ලිඛිත පණිවිඩ යැවීමේ යාන්ත්‍රික ක්‍රමය; දුර ලේඛය; තලතුරුව (=telegraph).

ටැලිග්‍රෑමය

නා. කම්බි රැහැන් ඔස්සේ යවන විදුලි පණිවිඩය; විදුලි පුවත (=telegram).

ටැලිටයිප්

නා.ප්‍ර. යතුරු පුවරුව මාර්ගයෙන් ටැලි ග්‍රාෆ් පණිවුඩ යැවීමේත්, මුද්‍රණය කිරීමේත් ක්‍රමය (=teletype).

ටැලිවිෂනය

නා. රූපවාහිනිය (=television).

ටැලිෆෝනය

නා. දුරකථනය; තලබණුව (=telephone).

ටැලෝ

නා.ප්‍ර. සත්ත්ව මේදය (=tallow).

ටිංගිනිය

නා. ඇසේ තාරා මණ්ඩලය; කළු ඉංගිරියාව; කනීනිකාව.

ටික

නා.ප්‍ර. ප්‍රමාණයෙන් හෝ සංඛ්‍යාවෙන් හෝ අල්ප වූව; ස්වල්පය.

ටිකට්

නා.ප්‍ර. බස්රථාදියකින් ගමන් කිරීම නෘත්‍යශාලාදියකට ඇතුළු වීම ආදිය සඳහා ලබාගත යුතු අවසර පත්‍රයක ප්‍රවේශ පත්‍රය (=ticket).

ටික්කා

නා. උඩු බැලි ව තැබූ විට 'ටික්' හඬ නඟමින් උඩ පනින කුරුමිණියෙක්.

ටිකිත්ත

නා. ඉතා ටික; ඉතා ස්වල්ප.

ටිකිරි

වි. කුඩා; පුංචි; ළාබාල; ළපටි.

ටිකිරිලියා

නා.ප්‍ර. ළාබාල තැනැත්තිය; ලඳ බොළඳ ස්ත්‍රිය.

ටිඟහොල්

1. නා.ප්‍ර. තියුණු කටු සහිත කඳන් ඇති තිඹොල්.
2. නා.ප්‍ර. රතු සායම් ලබා දෙන ලීය ඇති ගසක්; පතඟි.

ටින්

1. නා.ප්‍ර. සුදු දිලිසෙන ලෝහ ද්‍රව්‍යයක් වන බෙලෙක් (=tin).
2. නා.ප්‍ර. බෙලෙක්වලින් හෝ අන්‍යාකාරයකින් සෑදූ සිලින්ඩරාකාර භාජනය; බෙලෙක්කය.

ටින් කිරි

නා. උකු කොට ටින්වල බහාලූ කිරි; ටින් කළ කිරි.

ටින් තහඩුව

නා. ටින් ලෝහයෙන් සෑදු තහඩුව; බෙලෙක් තහඩුව; ටකරම.

ටින්ක්චර්

නා. මද්‍යසාරයෙන් දිය කරන ලද බෙහෙත.