සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 698

තක්කුවික්කුව

නා. කලබලය; වික්ෂිප්ත භාවය.

තක්බීර්

(කථා.) නා.ප්‍ර. තැති ගැන්ම.

තක්මන

(කථා.) නා. ඉක්මන්කම; යුහුසුලුබව.

තක්ෂ

නා.ප්‍ර. (කපා ඉරා යතු ගෑම ආදියෙන්) දැව දඬු සිහින් කිරීම.

තක්ෂක

නා.ප්‍ර. ලී දඬු සසින්නා; වඩුවා; වඩු කාර්මිකයා.

තක්ෂණය

(පාරිභා.) නා. සූසැට කලා ශිල්පවලින් එකක් වන වඩුකම.

තක්ෂශිල්පය

නා. වඩු කර්මාන්තය.

තක්සේරු අගය

(පාරිභා.) නා. විමසා බලා තීරණය කරනු ලබන වටිනාකම; ප්‍රමාණය කළ අගය; ඇස්තමේන්තු වටිනාකම (=appraised value).

තක්සේරු ගාස්තුව

1. නා. ඇස්තමේන්තු කරන ලද පිරිවැය.
2. නා. තක්සේරුව සඳහා ගෙවනු ලබන මුදල.

තක්සේරුකරු

නා.ප්‍ර. යමක වටිනාකම තීරණය කරන්නා; යමක අගය තීරණය කරන්නා; ඇස්තමේන්තුකරුවා.

තක්සේරුව

(පාරිභා.) නා. යමක වටිනාකම ප්‍රමාණය කිරීම; කිසියම් ද්‍රව්‍යයක අගය (විවිධ ක්‍රමවලින්) විමසා බලා තීරණය කිරීම; ඇස්තමේන්තුව (=valuation estimate).

තක්‍රය

නා. පස්ගෝරසයෙන් එකක නාමය; මෝරු; කිරිමෝරු.

තකු

1. නා.ප්‍ර. වාද විවාද කිරීම පිළිබඳ වූ ශාස්ත්‍රය; තර්ක ශාස්ත්‍රය; තකු සත.
2. නා.ප්‍ර. නූල් කැටීම සඳහා භාවිත කළ උපකරණයක්; ඉද්ද.

තකුල්

නා.ප්‍ර. කපු කිනිස්ස, කළුවැල් හෝ සුවඳකහ යන ඖෂධීය ශාක.

තකෝව

(කථා.) නා. ඉක්මන; හදිසිය.

තචපඤ්චකය

1. නා. ශරීරයෙහි දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් සම පස්වැනි කොට ඇති ශාරීරික කොටස් පහ.
2. නා. සාමණේර පැවිද්දට පෙර හිසකෙස් කැපීමේ දී අනුලෝම ප්‍රතිලෝම වසයෙන් ප්‍රකාශ කෙරෙන කමටහන.

තචරසය

නා. ගස්වල පොත්තෙහි ඇති රසය.

තචසාර

වි. පොත්ත අරටුව කොට ඇති.

තච්ඡ

නා.ප්‍ර. වඩුවා.

තජනවා

ක්‍රි. තර්ජනය කරනවා; බිය ගන්වනවා.

තජ්ජාත

වි. එයින් හටගත්; එයින් බිහි වූ; ඉන් ඇති වූ.

තජ්ජාරි

නා. අඩි 36 ක ප්‍රමාණයකින් යුත් පැරණි මිනුම් ඒකකයක්.

තජ්ඥයා

නා. එය දන්නා තැනැත්තා.

තට

1. නා.ප්‍ර. ඉවුරු බිම; වෙරළ; කූලය; තීරය.
2. නා.ප්‍ර. පස; පාර්ශ්වය.
3. නා.ප්‍ර. තලාව; දියෙහි හෝ බිමෙහි තලය.
4. නා.ප්‍ර. උස්බිම; ගොඩබිම.