සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 735

තාදත්ම්‍යය

නා. (න්‍යාය) එය ම ආත්මය කොට ඇතිබව; අභින්නතාව; ඒකාත්ම භාවය.

තාදර්ථ්‍යය

නා. පාලියෙහි සහ සංස්කෘතයෙහි සම්ප්‍රදාන විභක්ති අර්ථය හඳුන්වන නාමයක්.

තාද්ධර්මය

නා.ප්‍ර. ඒ ධර්ම ස්වභාව ඇතිබව; යමකුගේ ස්වභාවය යමකුට ආරෝපණය කොට එය හා නොවෙනස් ව සැලකීම; චතුර්විධ උපචාර අතුරින් එකකි.

තාදාත්වික

වි. නිත්‍ය නොවූ; ඛණ්ඩ; තාවකාලික.

තාදි

වි. අෂ්ට ලෝක ධර්මයෙහි වෙනසකට නොපැමිණ ස්ථිර ව එකසේ ම සිටින; අකප්‍ය.
නා.ප්‍ර. තාදී ගුණෙන් යුත් උතුමා; බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේ.

තාදි ගුණය

නා. අටලෝදහම්හි නොසැලෙන ගුණය; අචල භාවය; අකතාව; මෙය බුදුවරයන් හෝ රහතන්වහන්සේ කෙරෙහි පිහිටන ගුණයකි.

තාදෘශ

වි. එබඳු; ඒ හා සමාන.

තාන

1. නා.ප්‍ර. තැන; ස්ථානය.
2. නා.ප්‍ර. තනතුර; පදවිය; නිලය.
3. (සංගී.) නා.ප්‍ර. යම්කිසි ගීතයක් ආරෝහණාවරෝහණ ක්‍රමයෙන් විස්තර කිරීම් වශයෙන් අලංකාර කරනු පිණිස යොදනු ලබන ස්වර සමූහය.
4. (පාරිභා.) නා.ප්‍ර. ශරීරයේ (විශේෂයෙන් ම මාංස පේශිවල) පවතින දැඩිබව; ප්‍රත්‍යාස්ථාව.
වි. තනන; ලෙල දෙන; කම්පනය වන.

තාන රජ්ජු අවයවය

(පාරිභා.) නා. කෘමීන්ගේ තාන රජ්ජු රාශියකින් සමන්විත ශ්‍රවණේන්ද්‍රිය.

තාන රජ්ජුව

(පාරිභා.) නා. කුහරයක් සහිත දණ්ඩක් වැනි ව කෘමීන්ගේ ශ්‍රවණේන්ද්‍රියයේ පවතින කොටසක්.

තානකය

(පාරිභා.) නා. ශරීර ශක්තිය ඇති කරන ඔසු විශේෂය; වාජීකරණය (=tonic).

තානගත

වි. තැනට ගිය; ස්ථානයට පැමිණි; ස්ථානගත.

තානදෝස

නා.ප්‍ර. (ශරීරයේ නොයෙක්) තැන්වල ඇති දොස්; ස්ථාන ගත වූ දෝෂය; ස්ථාන දෝෂය.

තානම

නා. (සංගී.) යම්කිසි ගීතයක හෝ වන්නමක හෝ නාද ස්වරූපය දක්වන ශබ්ද මාලාව.

තානවය

1. නා. සිහින්කම; තුනීබව; තනුත්වය.
2. (පාරිභා.) නා. ශරීරයේ රුධිරය වැනි ද්‍රව්‍ය හෝ ඒ මේ අතට ගමන් කරන නාල මාර්ග අවහිර වීම හෝ තැන් තැන සිහින් වීම; රුධිරවාහිනී හිර වීම.

තාන්

වි. අලුත්; නව; නොසේදු.

තාන්කඩ

නා. කලින් ප්‍රයෝජනයට නොගත් වස්ත්‍රය; අලුත් වස්ත්‍රය.

තාන්ත්‍රික

1. වි. තන්ත්‍රයානය හා සම්බන්ධ වූ; තන්ත්‍රවලට අයත් වූ.
2. වි. තත් ඇති; තත් සහිත; තන්ත්‍රයෙන් යුතු.

තාන්තුවා ගෙදර

1. (කථා.) නා. මඟුල් ගෙදර.
2. නා. මරණයක් සිදු වූ ගෙදර; මළ ගෙදර.

තාන්තුවාව

1. නා. විවාහ මංගල්‍යය; මඟුල් කටයුත්ත.
2. (කථා.) නා. අවමඟුල් උත්සවය.
3. නා. තොවිලය.
4. නා. කරදරය; හිරිහැරය.
5. නා. දුක; කනගාටුව; කනස්සල්ල; සංතාපය.
6. නා. සැකය; දෙගිඩියාව.

තාන්න

නා.ප්‍ර. තනතුර; නිලය; පදවිය; තානාන්තරය; ස්ථානාන්තරය.

තාන්න මාන්න

නා. තනතුර සහ ගරු බුහුමන්; සම්මාන.

තානාන්තරය

නා. තනතුර; පදවිය; නිලය; ඨානාන්තරය.

තානාපති

නා.ප්‍ර. රටක් නියෝජනය කිරීමට අනෙක් රටකට නිල වශයෙන් පත් කර යවනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයා.