සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 743

තාවුරු

1. වි. තිර; ස්ථිර; තහවුරු.
2. වි. ප්‍රමාද; ප්‍රපඤ්ච.

තාවුරු කරනවා

ක්‍රි. තිර කරනවා; ස්ථිර කරනවා; ස්ථාවර බවට පත් කරනවා.

තාසය

(කථා.) නා. දිය පිපාසය; පැන් පවස.

තාළම

1. නා. නැටුම්, ගැයුම්, වැයුම් ආදිය අභිමත කාල සීමාවක පිහිටුවීම සඳහා අතුල්, තාළම්පට, බෙර ආදියෙන් දක්වන තාල භේදය; සංගීත තාලමානය; රිද්මය; ලය.
2. නා. ඝන වාද්‍ය විශේෂයක්; තාළම්පට; කයිතාලම.
3. නා. තාලයට අනුව වයනු ලබන හෝ ගසනු ලබන පදය.
4. නා. භක්ති පූර්වක නර්තන විශේෂයක්.

තාළිච්චිය

(කථා.) නා. තෙම්පරාදුව.

තැක්

නා.ප්‍ර. දී කිරි කොටස් තුනකට ජලය කොටස් එකක් මිශ්‍රකොට සාදාගන්නා පානය; පස්ගෝරසයන්ගෙන් එකක් වන මෝරු හෙවත් මොහොරු.

තැකිල්ල

නා. සැලකීම; ගරුබුහුමන.

තැග

නා. දීම; අත්හැර දැමීම; ත්‍යාගය.

තැජ

නා.ප්‍ර. තරවටුව; තර්ජනය.
වි. අත් හළ; දුරු කළ; නොසැලකිය යුතු.

තැටි නඟුල

නා. පොළොවට හුලස් ව තබන ලද පීරිසියක හැඩය ඇති වානේ තැටියක් ඇති නඟුල.

තැටි වැල්වය

(පාරිභා.) නා. පොම්පවල සම්පීඩකවල හා අන්තර්ගත ව චූෂණ හා විසර්ජන ක්‍රියාවක් කරන කවාකාර වැල්ව වර්ගයක් (=disc valve).

තැටිකරුවා

නා. තල්කොළ, පන් ආදියෙන් තැටි ආදිය තනන්නා; තට්ටිකා සාදන්නා.

තැටිගත කරනවා

ක්‍රි. ශබ්දය ශබ්දවාහිනී තැටියකට ගන්නවා.

තැටිත්ත

1. (පාරිභා.) නා. රුධිරයෙහි අඩංගු ඉතා සියුම් පැතැලි දේහයක්; පට්ටිකාව (=platelet).
2. නා. ඇතැම් ආරෝහක ශාක වර්ග නැගීමේ ඉහළ ධාරකය දැඩි ලෙස අල්ලා ගැනීම සඳහා පහුරු අග පිහිටා ඇති (කුඩා තැටි වැනි) පැතලි කොටස (=disc).

තැටින්

නා.ප්‍ර. ඇඳුම් වැඩ දැමීමට, අලංකාර කිරීමට ගනු ලබන රේන්ද පටි විශේෂයක්; පැතලි උපකරණයක් කටුව වශයෙන් උපයෝගී කර, මහන නූල්වලින් කරන ගෙතීම් වෙසෙසක්.

තැටින් කටුව

(කථා.) නා. මහන නූල්වලින් රේන්ද පටි (තැටින්) ගෙතීම සඳහා කැස්බෑ ලෙලි ආදි ද්‍රව්‍යයකින් සාදා ගැනෙන උපකරණය.

තැටිපත

නා. ආහාර අනුභව කිරීම සඳහා ගනු ලබන භාජනය; තැටිය; පිඟාන.

තැටිපෝරු ගානවා

ක්‍රි. බීජ වැපිරීම සඳහා තැටිපෝරුවකින් බිම සකස් කරනවා.

තැටිපෝරුව

නා. අක්ෂ දඬු දෙකක් හෝ වැඩි ගණනක් මත නැංවූ අඟල් දොළහටත් විස්සටත් අතර විෂ්කම්භය ඇති තැටි ගණනාවකින් යුක්ත ගොවි උපකරණයක්.

තැටිබත

නා. තැටියට බෙදූ ආහාරය; කෑමට බෙදා ගත් බත.

තැටිය

1. නා. ආහාර අනුභවයට භාවිත කරනු ලබන පැතලි භාජනය; තලිය.
2. නා. යමක් බීම සඳහා ගන්නා නොගැඹුරු පැතලි භාජන විශේෂය; ඔඩම; චෂකය; විත.
3. නා. පාන්, කේක් ආදිය පුලුස්සා ගැනීමට ගනු ලබන නොගැඹුරු පැතලි හතරැස් භාජන විශේෂය.
4. නා. මස් ආදිය බැද ගැනීමට යොදා ගන්නා පැතලි භාජනය.
5. (පාරිභා.) නා. කවාකාර පෙත්ත; මඬල; මණ්ඩලය (=disc).
6. (පාරිභා.) නා. ලෝහමය තහඩුව; තටුව; තට්ටුව (=plate).
7. නා. ශබ්දවාහිනි යන්ත්‍රයකින් නැවත ඇසිය හැකි පරිදි සටහන් කරන ලද කථා, ගීත ආදිය ඇතුළත් ඉටි විශේෂයකින් සකස් කළ වටකුරු පෙතලි තහඩු විශේෂය (=record).
8. නා. තරාදි දණ්ඩ දෙපස එල්ලා ඇති තට්ටුවක තරාදි තටුව.
9. (පාරිභා.) නා. බන්දේසිය; භාජන ධාරකය (=tray).
10. නා. රබර් කිරි මිදවීමට ගන්නා හතරැස් බඳුන් විශේෂය.
11. නා. කෙස් වැටුණු හිස; තට්ටය.

තැටිරෝදය

(පාරිභා.) නා. වෙන වෙන ම ගරාදි නොමැති ව රෝදයක නාභියත් නිම්වළල්ලත් සම්බන්ධ කරන කවාකාර ඝන ලෝහ තැටිය (=disc wheel).

තැටිල්ල

නා. කුඩාවට හා පැතලියට ලෝහාදියෙන් තැනූ තලය; කුඩා තැටිය.

තැටිලිපත

නා. (ලෑලි, ලෝහ වැනි දෙයකින්) පැතලියට හා කුඩාවට තැනූ දෙයක්; කුඩා තට්ටුව.