සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 744

තැටිසැර

නා. පැතලි බඳුන; තටු මාලාව.

තැත

1. නා. වෑයම; උත්සාහය; යත්නය; පරිශ්‍රමය.
2. නා. බලය; ශක්තිය; වේගය; ජවය; නියැලීම; තත්පරතාව.
4. නා. කාර්යය; ව්‍යවසාය; ව්‍යාපාරය.
5. නා. පෙළඹවීම; මෙහෙයවීම; ප්‍රේරණය.

තැතනුම

1. නා. කෙඳිරි ගෑම.
2. නා. මේඝ ගර්ජනාව; වල්සතුන්ගේ ගර්ජනය.
3. නා. රෞද්‍ර බව.

තැත් කරනවා

ක්‍රි. උත්සාහ කරනවා; වෑයම් කරනවා; යත්න දරනවා.

තැත් කවනවා

1. ක්‍රි. හී පහරේ ජවබලය වැඩි කිරීම පිණිස දුනුදිය පොළනවා.
2. ක්‍රි. අරමුණ ඉටුකර ගැනීමට වෑයම් කරනවා.

තැත්තා

(කථා.) නා. ගවයා හෝ වසුපැටියා; කුඩා ළමුන් හරකාට භාවිත කරන සුරතල් නාමයකි.

තැත්වර ලනවා

ක්‍රි. හී පහරේ ජවබලය වැඩි කිරීම පිණිස දුනුදිය පොළනවා.

තැත්සිත

නා. උත්සාහ සිත; වීර්යාධික චිත්තය.

තැති

1. නා.ප්‍ර. හිටි හැටියේ සිතෙහි පහළ වන බිය; තිගැස්ම; ත්‍රාසය.
2. නා.ප්‍ර. දැපීම; උදාරම් ගතිය; උද්ධතභාවය.

තැති ගන්නවා

1. ක්‍රි. තිගැස්සෙනවා; බිය වෙනවා; ත්‍රස්ත වෙනවා
2. ක්‍රි. දර්පිත වෙනවා; දැඩි වෙනවා; ස්තබ්ධ වෙනවා.

තැතිල්ල

නා. නඟුලක හෝ ඉස්කෝප්පයක හෝ වානේ තලය.

තැදැල්ල

නා. දිය ඇද ඉසින ඝටිකා යන්ත්‍රය.

තැදි ගන්නවා

1. ක්‍රි. කම්පා වෙනවා; තිගැස්සෙනවා. බිය වෙනවා; ත්‍රස්ත වෙනවා.
2. ක්‍රි. දැඩි වෙනවා; ස්තබ්ධ වෙනවා.

තැන

1. නා. ස්ථානය; භූමිය; භූමිභාගය.
2. නා. අවස්ථාව; අවසරය; අවකාශය.
3. නා. දුර ප්‍රමාණය.
4. නා. පදවිය; ධූරය; තනතුර.
5. නා. කරුණ; තොරතුර.
6. නා. තැනැත්තා; ගෞරව කටයුතු පුද්ගලයා; හිමිනම; භික්ෂුනම.
7. නා. කම්මැලිකම; අලසකම; නිරුත්සාහය; ථීනය.
ක්‍රි.වි. වේලාවෙහි; අවස්ථාවෙහි.

තැනවැටෙනවා

1. (කථා.) ක්‍රි. ශරීරය දුර්වල වෙනවා; සෞඛ්‍ය තත්ත්වය හීනවෙනවා.
2. ක්‍රි. වස්තුව නැති වී යනවා; දුප්පත් වෙනවා.

තැන්තුව

(කථා.) නා. සූදුව සඳහා තබන මුදල; ඔට්ටුව.

තැන්පත්

1. වි. හික්මුණු; සන්සුන්; කලබලකාරි නොවන.
2. වි. සුරැකිව තැබූ; පරිස්සම් සහිතව තබා ඇති.
3. වි. ස්ථිර; ස්ථාවර; තහවුරු වු.

තැන්පත් කරනවා

1. ක්‍රි. සුරක්ෂිතව තබනවා; ආරක්ෂිත ලෙස තබනවා.
2. ක්‍රි. තහවුරු කරනවා; ස්ථිර කරනවා.
3. ක්‍රි. වළලනවා; වළ දමනවා.
4. (පාරිභා.) ක්‍රි. බැංකුවක හෝ එවැනි වෙනත් ස්ථානයක මුදල් ආරක්ෂාවට තබනවා.

තැන්පත් ගිණුම

නා. නියමිත කාලයකට නිශ්චිත පොළිය අනුපාතිකයක් යටතේ බැංකුවක හෝ එවැනි වෙනත් ආයතනයක හෝ තැන්පත් කරනු ලබන මුදල වෙනුවෙන් විවෘත කරන ගිණුම (=deposit account).

තැන්පත් වෙනවා

1. ක්‍රි. සන්සුන් වෙනවා; සමථයකට පත් වෙනවා.
2. ක්‍රි. තහවුරු වෙනවා; මුල්බැස ගන්නවා.
3. ක්‍රි. එකතු වෙනවා; ගොඩ ගැසෙනවා; රාශිභූත වෙනවා.

තැන්පතු පරිමාව

නා. බැංකුවක මුදල් තැන්පත් කිරීමෙන් හෝ බැංකුවෙන් මුදල් ණයට ගැනීමෙන් හෝ ඇති වන ගිණුම්වල මුළු ප්‍රමාණය.

තැන්පතුව

නා. නියමිත කාලයක් තුළ දී නිශ්චිත පොළී අනුපාතිකයක් යටතේ බැංකුවක හෝ එවැනි වෙනත් ස්ථානයක තැන්පත් කරන ලද මුදල.

තැන්මාරුව

1. (පාරිභා.) නා. එක් ස්ථානයක් වෙනුවට අනෙක් ස්ථානයකට කරන මාරුව.
2. නා. දවසේ එක් වේලාවක් එක් අයකු ද වශයෙන් මාරුවෙන් මාරුවට වැඩ කිරීම (=shift).

තැන්මිල

(පාරිභා.) නා.ප්‍ර. ගනුදෙනු කරන අවස්ථාවේ දී (වට්ටම් පොළිය සහිත වූ) වෙළඳ බිල්පතක පවත්නා අගය (=spot price).