සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 750

තිත්මුවා

නා. සම මත සුදු පුල්ලි වැටි ඇති මුව වර්ගය.

තිතික්ෂාව

නා. ඉවසීම; ක්ෂමාව; ක්ෂාන්තිය.

තිතු

නා.බහු. තීර්ථක සමූහය; තීර්ථකයෝ; අන්‍යලබ්ධිකයෝ.

තිථය

නා. (බුද්ධකාලීන) දෙසැට මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් එකක්.

තිථලද

නා.ප්‍ර. තීර්ථක ලබ්ධිය.

තිථි පසළොස

නා. චන්ද්‍ර මාසයේ පුර පක්ෂයේ පසළොස් දින හෝ අව පක්ෂයේ පසළොස් දින.

තිථිදානය

නා. තිථියකට වරක් දෙන දානය.

තිථිය

නා. චන්ද්‍රමාස ක්‍රමයෙන් මාසයේ එක් දිනයක්; සිංහල පැය හැටක කාලය.

තිදඬු

නා.ප්‍ර. තුන් පැත්තකට විහිදි දඬු තුනකින් සකස් වූ පැන් කෙණ්ඩිය තබා ගැනීම ආදියේ දී ආධාරකයක් ලෙස යොදාගැනෙන තවුස් පිරිකරට අයත් උපකරණයක්.

තිදස

නා. ශක්‍රභවනය; තව්තිසාව; තාවතිංසය.

තිදසඉසුරු

නා.ප්‍ර. තිදස් පුරයට අධිපතියා; ඉන්ද්‍රයා.

තිදසපුර

නා. ශක්‍ර භවනය; තව්තිසාව.

තිදසරද අවිය

නා. ඉන්ද්‍රචාපය; දේදුන්න.

තිදසරුක

නා. කල්පවෘක්ෂය; කප්රුක.

තිදසිඳු

[තිදස් + ඉඳු]
නා.ප්‍ර. දෙව්ලොවට අධිපතියා; ශක්‍රයා.

තිදිව

නා. දෙව්ලොව; තිදස්පුරය.

තිදිවපුර

නා.ප්‍ර. තව්තිසාව.

තිදිවාධිප

නා.ප්‍ර. සුරලොවට අධිපති සක් දෙවියා; ශක්‍රයා; ඉන්ද්‍රයා.

තිදොර

නා.ප්‍ර. සිත, කය, වචනය යන දොරටු තුන; තුන්දොර.

තිදොස්

නා.ප්‍ර. (රෝග වැලදීමට හේතු වන) වා, පිත්, සෙම් යන දොස් තුන.

තිනමිද

නා. (අරමුණු ගැන්ම සම්බන්ධයෙන්) සිතේ මැළිගතිය හා (වේදනා, සංඥා, සංස්කාරය යන) නාමකායෙහි මැළි ගතිය; ථීන මිද්ධය.

තිනය

නා.ප්‍ර. ඊශ්වරයා; තිනේත්‍රයා.

තින්ත

1. නා.ප්‍ර. පෑන්වලින් ලිවීමට ගනු ලබන වර්ණවත් ද්‍රව වර්ගයක්.
2. නා.ප්‍ර. මුද්‍රණ කටයුතු සඳහා ගැනෙන වර්ණවත් උකු ද්‍රව වර්ග.
3. නා.ප්‍ර. ඇඳීම්, ආලේප කිරීම්, චිත්‍රකර්ම ආදිය සඳහා යොදා ගන්නා පාට ද්‍රව වර්ග; පින්තාරු සායම් (=paint).