සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 797

දයළ

වි. කරුණා සිත් ඇති; දයාව ඇති.

දයා ආසනය

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තු භක්තිකයන්ගේ පූජනීය වස්තුවක්; කරුණාසනය.

දයා වීරයා

නා. අනුනට දයාව දැක්වීමෙන් වීරත්වයට පැමිණි තැනැත්තා.

දයාකර

වි. අධික කරුණාව ඇති; කරුණා පරවශ.

දයාදාක්ෂිණ්‍යය

නා. කරුණාව හා පරිත්‍යාගශීලි භාවය.

දයානුග්‍රහය

නා. කරුණා සහගත දීමනාව; මෛත්‍රී සහගත උපකාරය; දයා පූර්වක ප්‍රදානය.

දයාපරවශ

වි. කරුණාව මුල්කොට ගත්.

දයාබර

වි. දයාවෙන් පිරුණ.

දයාලු

වි. දයාව ඇති.

දයාව

නා. අන්‍යයන්ගේ දුකෙහි දී සිත කම්පා වන ස්වභාවය; කරුණාව; අනුකම්පාව; මෛත්‍රිය.

දයාවත්

වි. අනුකම්පා සහගත වූ.

දයිතාව

නා. භාර්යාව; බිරිය.

දර

වි. දරන; දැරීම කරන.
1. නා. ගිනි ඇවිලීමට ගන්නා වියළි ලී දඬු.
2. නා. දරන දෙය; ධාරකය.
3. නා. දෙරණ; පොළොව; පෘථිවිය.
4. නා. (වෑස්සෙන) ජලය; දහර; ධාරාව.
5. නා. අවියක මුවහත; තියුණු දාරය.
6. නා. දිරීම; ජරාව.
7. නා. ස්ත්‍රිය; ගැහැනිය.
8. නා. වළ; සිදුර; හිල.

දරකැටියා

1. නා. දර ගෙනෙන්නා; දරකාරයා.
2. නා. කෘමිගණයට අයත් සතෙක්.

දරණ

1. නා.ප්‍ර. දඟරය; රවුම් කීපයකට එතුණු දෙය.
2. නා.ප්‍ර. සර්පයන් සිය සිරුර ඔතා ගැන්මෙන් ඇති කර ගන්නා වළයාකාර හැඩය; ලණුව; රැහැන.
3. නා.ප්‍ර. ඉත්තෑවා.
4. නා.ප්‍ර. දැරීම; ධාරණය; ඉහිලීම.
5. නා.ප්‍ර. දරුණුකම; දාරුණ්‍යය.
6. නා.ප්‍ර. දාරණය; පැල්ම; විවරය.

දරණ මඬුල්ල

1. නා. භෝගාවලිය; දරණවැළ.
2. නා. වළලු ගැසුණු රැහැන් සමූහය; මණ්ඩලාකාර ව එතුණු ලණු රැස.

දරණගබ

නා. භෝගාවලිය ඇතුළත; උරග දරණයෙන් වටවුණු තැන.

දරණිපා

නා.ප්‍ර. රජ; භූපාල.

දරණිය

1. නා. දරණුව.
2. (උද්භි.) නා. දිලීර බීජාණුවක් දරන බොහෝ විට තරමක් ඉදිමී ගිය කොට දිලීර සූත්‍රිකාව.

දරණිසුරු

නා.ප්‍ර. රජ; මිහිපල්; මහීපාලයා.

දරණුව

1. නා. හැළි වළං වැනි භාජන තැබීමට කොහු ලණු පන් ආදියෙන් තනා ගන්නා ලද වළල්ල.
2. (පාරිභා.) නා. කම්බි ආදියෙන් සාදන දඟරය; වෙළුම (=coil).

දරත්

නා.ප්‍ර. මුවහත; කැපෙනසුලුබව; ආයුධයක තියුණු ලෙස කැපෙන කොටස.

දරථය

නා. කායික හෝ මානසික පීඩාව; සිත්තැවුල; විඩාව; කලකිරීම.

දරදඬු

නා.ප්‍ර. දරලීය; දරකෝටු; ලීදඬු.
1. වි. දරදඬුවක් මෙන් නොනැමෙන; අනම්‍ය වූ.
2. වි. දඩබ්බර; හිතුවක්කාර.