සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 838

දියාටු

වි. ජලයෙහි වූ; දියෙහි පිහිටි; ජලයෙහි වැඩෙන; ජලස්ථ.

දියාරු

1. වි. දියර ගතියෙන් යුත්;
2. (කථා.) වි. නුසුදුසු; නොහොබිනා.

දියාළුව

1. නා. ඔරුවල දිය ඉවත් කිරීම සඳහා භාවිත කරන උපකරණයක්.
2. නා. දිය නෑමට භාවිත කරන භාජනය; සේක පාත්‍රය.

දියාළුවා

නා. ඇළ ආදිය මගින් කෙත් ආදියට දිය සපයන්නා; උදක හාරකයා.

දියැටි

වි. දෙනු කැමති; දෙන්නට ආශා කරන.

දියැත්ත

නා. දිය ටික; ස්වල්ප වූ ජලය; පැනිත්ත.

දියැඳිල්ල

[දිය + ඇඳිල්ල]
නා. දිය දෝත.

දියුණ

නා. එකකට එකකින් වැඩි ප්‍රමාණය; දෙගුණය; ද්විගුණය.

දියුණනවා

ක්‍රි. දෙගුණ කරනවා; තව ගුණයකින් වැඩි කරනවා.

දියුණුව

1. නා. වඩා හොඳ තත්ත්වය; අභිවෘද්ධිය.
2. නා. දෙගුණය.

දියුල්

නා.ප්‍ර. සිනිඳු තුනී රෙදි; දුහුල්; දූකුල.

දියොතු

නා.ප්‍ර. තාරකා; තරු.

දිර

1. වි. දැඩි; මහත් බලවත්; දෘඪ.
2. වි. ධීර; ධෛර්ය සම්පන්න; එඩිතර.

දිරකඩ

1. වි. ජරාවට පත්; අබලන් වූ.
2. වි. ගසක හෝ දැවයක දිරා දිය කොටස; දිරීම නිසා කඳක ඇතිවූ පලුද්ද.
3. වි. දිරාගිය ලීය; වියළි ලීදඬුව හෙවත් කැබැල්ල; දර ලීය.

දිරච්චලණු

(කථා.) නා.ප්‍ර. (රූඪි.) වැරදි තොරතුරු; බොරු ආරංචිය; ව්‍යාජ උපදේශය.

දිරච්චලණු කනවා

ක්‍රි. (රූඪි.) මුළාවේ වැටෙනවා; රැවටෙනවා.

දිරද

නා.ප්‍ර. ඇතා; හස්තියා.

දිරනවා

1. ක්‍රි. (කාලය ගෙවී යෑම, අව්වැසි සුළං ආදියට අසු වීම ආදි හේතු නිසා) යම් ද්‍රව්‍යයක ස්වභාවය ක්‍රමයෙන් ක්ෂය බවට පත්වෙනවා; දිරාපත් වෙනවා; ජරාවට පත්වෙනවා.
2. ක්‍රි. (ආහාරාදිය) ජීර්ණ වෙනවා; අනුභව කළ දැ පාකයට පැමිණෙනවා.
3. ක්‍රි. කෘශ වෙනවා; කෙට්ටු වෙනවා; සිහින් වෙනවා; දිරීමට පත්වෙනවා.

දිරපොතු වෙනවා

(කථා.) ක්‍රි. දුර්වල වෙනවා; කෙට්ටු වෙනවා; දිරාපත් වෙනවා.

දිරාපත් වෙනවා

ක්‍රි. දිරා යනවා; දිරීමට පැමිණෙනවා.

දිරි

1. නා.ප්‍ර. ධෛර්යය; එඩිතරබව දැඩි උත්සාහය; උනන්දුව.
2. නා.ප්‍ර. ශක්තිය; බලවත්කම.
නි. අලි ඇතුනට "තල්ලු කරනු", "බිම හෙළනු" සහ "බිද හෙළනු" යන උපදේශය හඟවන විධානය.

දිරි අනිනවා

(කථා.) ක්‍රි. බිම ඇද වැටෙනවා.

දිරි ගන්නවා

ක්‍රි. උත්සාහ කරනවා; වීර්ය කරනවා; ධෛර්යවත් වෙනවා.

දිරි ගස්සනවා

(කථා.) ක්‍රි. යමක් තල්ලු කිරීමට අලි ඇතුන් දණ ගස්සනවා; අලි ඇතුන්ට දණ ගැසීමට විධානය දෙනවා.