සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 882

ධර්මාභිසමය

නා.ප්‍ර. ධර්මය සපුරා අවබෝධ කර ගැනීම; මාර්ගඵලාවබෝධය.

ධර්මායතනය

1. නා. ධර්මය උගන්වන ආයතනය.
2. නා. චක්ඛු, සෝත ආදි ආයතන දොළසින් එකක්.

ධර්මාසනය

1. නා. ධර්ම දේශනාව සඳහා ම පිළියෙල කළ ආසනය.
2. නා. නඩු ඇසීමට හිඳිනා අසුන; විනිශ්චයාසනය.

ධර්මිෂ්ඨ

වි. ධර්මයෙහි නියුතු; දහම්හි හැසිරෙන; දැහැමි.

ධරාග්‍රය

නා. කඳු මුදුන; පර්වත මස්තකය; ගිරිහිස.

ධරාව

(පාරිභා.) නා. ගර්භාශය; දරු බොක්ක.

ධව

නා.ප්‍ර. ස්වාමි පුරුෂයා; භර්තෘ.

ධවල

වි. සුදු; ශ්වේත; ශුභ්‍ර; හෙළ.
නා. හක්ගෙඩිය; ශඞ්ඛය; සක.

ධවල පත්‍රිකාව

නා. ඇතැම් අණ පනත් ආදිය නීතිගත කිරිමට පෙර ඒවා මහජනයාට කල් තබා දැනගැනීමට හැකි වීම සඳහා නිකුත් කෙරෙන නිල ලියවිල්ල.

ධවල මන්දිරය

නා. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිගේ නිල නිවාසය.

ධවලච්ඡත්‍රය

නා. රජබවේ සංකේතයක් වශයෙන් පුරාණයේ දී සිංහාසනය මත නංවා තබන ලද සුදු කුඩය; සේසත.

ධවලාත පත්‍රය

නා. සුදු කුඩය; ධවලච්ඡත්‍රය; සේසත.

ධ්වංසනය

නා. විනාශ කිරීම; නසා දැමීම; වැනසීම.

ධ්වජ කේතුව

නා. කොඩිය.

ධ්වජය

1. නා. රටක හෝ ආයතනයක හෝ අනන්‍යතාව හඟවන සලකුණකින් යුත් රෙදි ආදියෙන් සකසා ගත් දෙය; කොඩිය.
2. නා. පුරුෂ නිමිත්ත.
3. නා. ලාඤ්ඡනය.
4. නා. වංචාව; කපටිකම.

ධ්වනි

1. නා.ප්‍ර. ශබ්ද; හඬ; රාවය.
2. නා.ප්‍ර. වාච්‍ය අදහස ඉක්මවා මතු වන හැඟීම්; හැගෙන අදහස්; ගම්‍යමාන අර්ථ; ව්‍යංග්‍ය අර්ථ.
3. නා.ප්‍ර. භේරී තූර්ය භාණ්ඩ විශේෂයක්.
4. නා.ප්‍ර. කනෙට දැනෙන සංවේදකය; ශ්‍රවණ උත්තේජ ජනිත කරන කම්පන හා තරංග චලිත.

ධ්වනි තන්ත්‍රි

(පාරිභා.) නා.ප්‍ර. ශ්වසනාලයේ ඉහළ කොටසේ ඇති සියුම් ශ්ලේෂ්මවත් පටල දෙක; ශබ්දතන්ත්‍රී (=vocal chords).

ධ්වනි තරංග

(පාරිභා.) නා. ශබ්ද තරංගය.

ධ්වනි විද්‍යාව

(පාරිභා.) නා. ධ්වනිය පිළිබඳ වූ හැදෑරීම; ශබ්ද විද්‍යාව.

ධ්වනි සණ්ඨානය

(පාරිභා.) නා. තැටියකට ශබ්ද කැවීමාදියෙන් ධ්වනිය සටහන් කරගැනීම.

ධ්වනිචාරය

(පාරිභා.) නා. ශාලාවක ධ්වනිය විසිරී යන ආකාරය.

ධ්වනිතාර්ථය

නා. වචනයෙන් පැවසෙන අර්ථයට වඩා වැඩි අදහසක් (ව්‍යංග්‍යයෙන්) ප්‍රකාශවීම; වාව්‍යාර්ථය ඉක්මවා මතුවන ව්‍යංග්‍ය අර්ථය; ව්‍යංග්‍යාර්ථය.

ධ්වනිපේටිකාව

නා. එක් පැත්තක ග්‍රැමෆෝන් නළාවක් හා අනෙක් පැත්තෙහි ඉදිකටුවකට සම්බන්ධ උපකරණයක් ද තිබෙන පටලයක් වටකොට පිහිටි අනුනාද පෙට්ටිය (=sound box).

ධ්වනිරෝධක

(පාරිභා.) වි. ශබ්දය ගමන් නොකරන; හඬ පැතිරීම වළක්වන.