සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 883

ධ්වනිවාදය

නා. ධ්වනිය කාව්‍යයේ ආත්මය ලෙසට සැලකීමෙන් ආලංකාරිකයන් අතර ඇති වූ කාව්‍ය විචාරවාදය; කාව්‍යයක රස නිෂ්පාදනයේදී ව්‍යංග්‍යාර්ථය ප්‍රධානබවට පළ වූ මතය.

ධ්‍යාන සමාපත්ති

නා.ප්‍ර. ධ්‍යාන සුවය.

ධ්‍යානය

නා. භාවනාවෙන් ලබන දැඩි චෛතසික ඒකාග්‍රතාව; කිසියම් අරමුණක සිත යෙදීම.

ධ්‍යානලාභියා

නා. ධ්‍යානයක් ලබා ගත් තැනැත්තා.

ධ්‍රැව

1. වි. වෙනස් නොවන; නිත්‍ය; ස්ථිර.
2. වි. පෘථිවියේ හෝ ග්‍රහ ලෝකයක හෝ ධ්‍රැව ප්‍රදේශ හා සම්බන්ධ.
1. නා. පෘථිවියේ හෝ ග්‍රහ ලෝකයක හෝ අක්ෂයේ උතුරු දකුණු කෙළවර පිහිටි ලක්ෂ්‍ය.
2. නා. චුම්බකය මෙන් ආකර්ෂණ බලය හෝ විකර්ෂණ බලය එක් රැස් වුණු ලක්ෂ්‍ය දෙකින් එකක්; විද්‍යුත් අග්‍රයක්.

ධ්‍රැව තාරකාව

නා. උත්තර ධ්‍රැවයට සම්පූර්ණයෙන් ම වාගේ මුදුන් වී පිහිටි තාරකාව (=polo star).

ධ්‍රැවණය

(පාරිභා.) නා. අණුවක ධන හා ඍණ ආරෝපණය වෙන් වීම; ආලෝකයේ කම්පනය එක තලයක පමණක් සීමා කිරීම.

ධ්‍රැවිය දේහය

නා. කිසියම් ජීවී විශේෂයකත් ජන්මාණුවකත් ධ්‍රැවය වටා ඇති ස්ථරය (=polocyte).

ධාතු

1. නා.ප්‍ර. සෑම වස්තුවක් ම දරා සිටීමට උපකාරී වන මූල ද්‍රව්‍ය.
2. නා.ප්‍ර. බුද්ධාදි උතුමන්ගේ ශරීරයෙහි පූජනීය කොට සලකන ඇතැම් කොටස්.
3. නා.ප්‍ර. ශරීරයේ පැවැත්මට හේතුවන ශුක්‍ර ආදි පදාර්ථ.
4. (ව්‍යාක.) නා.ප්‍ර. ආඛ්‍යාත පදවල ප්‍රකෘතිය.

ධාතු කරඬුව

නා. බුද්ධාදි පූජනීය උතුමන්ගේ ධාතු තැන්පත් කර ඇති මඤ්ජුසාව.

ධාතු ගර්භය

නා. සර්වඥ ධාතු ආදි පූජනීය වස්තු තැන්පත් කිරීම සඳහා ස්තූපයක බඳෙහි මැද හිස් ව තබන කොටස.

ධාතු නිධානය

1. නා. ශාරීරික ධාතු හා අන් පූජනීය වස්තු ආරක්ෂාව සඳහා නිධන් කොට තබන ස්ථානය.
2. නා. බුදුරදුන් ආදි උතුමන්ගේ ධාතු චෛත්‍යාදියක නිදන් කිරීම.

ධාතු පරිනිර්වාණය

නා. (ශාසනය පවතින කාලසීමාව අවසානයෙහි) බුදුරදුන්ගේ ශාරීරික ධාතු සියල්ල මහ බෝමැඩට එක්රැස් ව ඉබේ ම ආදාහනය වීම.

ධාතු ප්‍රකෘතිය

නා. (ව්‍යාක.) ප්‍රත්‍ය එක්වීමට කලින් ආඛ්‍යාතයක මූල ස්වභාවය; දාපියවිය.

ධාතු මන්දිරය

නා. සර්වඥ ආදි උතුමන්ගේ ධාතු වඩා හිඳුවා ඇති මැදුර; ධාතු ගෘහය.

ධාතුක්ෂෝභය

1. නා. ශරීරයේ තුන්දොස් කිපීම.
2. නා. පඨවි ආදි ධාතුන්ගේ කැළඹීම; පොළොවේ ධාතු කෝපවීම.

ධාතුඝර

නා.ප්‍ර. දාගැබ්, චෛත්‍ය වටා ඉදි කරනු ලබන ආවරණ ගොඩනැගිල්ල.

ධාන්‍ය

1. නා.ප්‍ර. තෘණ වර්ගයට අයත් වී, තිරිඟු.
2. (පාරිභා.) නා.ප්‍ර. එක් ඇටයක් සහිත කුඩා ඵලය.

ධාන්‍යාකාර

වි. වී ගොඩක හැඩය ගත්.

ධාන්‍යාගාරය

නා. ධාන්‍ය රැස් කර තබනු ලබන ගබඩා ගෙය; කොටුගෙය; ධාන්‍ය අටුව.

ධාරක

වි. දරන; උසුලන; දරා සිටින.
1. නා. වාහකයා; උසුලන්නා; ගෙනයන්නා.
2. නා. ජීවියකු දරා සිටින ජීවියා; පරපෝෂකයා.

ධාරක චෙක්පත

(පාරිභා.) නා. රැගෙන එන්නාට නියමිත බැංකුවට ඉදිරිපත් කිරීමෙන් මුදල් ලබාගත හැකි චෙක්පත.

ධාරක බිල්පත්

(පාරිභා.) නා.බහු. ගෙවීමේ දී ඉදිරිපත් කරන්නාට ගෙවිය හැකි (නමක් සඳහන් නොකරන) බිල්පත්.

ධාරණ

1. වි. රඳා පවතින; උසුලා සිටින; දරන; අල්ලා සිටින.
2. වි. මතකයේ සිටින.