සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 890

නන්දන

වි. ප්‍රීතිය ගෙන දෙන; මන පිනවන; සන්තෝෂදායක.
1. නා.ප්‍ර. ප්‍රීතිය; සතුට.
2. නා.ප්‍ර. ශක්‍රයාගේ උයන; නන්දනෝද්‍යානය.
3. නා.ප්‍ර. උණ දඬුවෙන් ඉදි කරන ලද නිවස.

නන්දනා

නා. දුව; දියණිය; දුහිතෘව.

නන්දි

නා.ප්‍ර. රූප ශබ්ද ආදි කාම වස්තු කෙරෙහි සිත් ඇලවීම; ආශාව; තෘෂ්ණාව.

නන්නත්තාරේ

1. ක්‍රි.වි. නොයෙක් අත; තැන්තැන්වල; හිස් ලූ ලූ අත; ඉබාගාතේ; අරමුණක් නැති ව.
2. ක්‍රි.වි. නිකරුණේ.

නන්නාඳුනන

වි. කිසිදු ඇඳිනීමක් නැති; තොරතුරු නොදන්නා; අඥාත.

නන්වැදෑරුම්

වි. නානාප්‍රකාර; නොයෙක් ආකාර වූ; විවිධාකාර.

නඳ

වි. සතුට උපදවන; ප්‍රීතිදායක.

නඳුන්

1. නා.ප්‍ර. සතුට; සන්තෝෂය; නන්දනය.
2. නා.ප්‍ර. දෙව්ලොව ඇතැයි සැලකෙන ශක්‍රයාගේ උයන; නඳුන් උයන.

නප්තෘ

නා.ප්‍ර. පුත්‍රයාගේ පුත්‍රයා හෝ දියණියගේ පුත්‍රයා; මුණුපුරා.

නපුංසක

1. වි. ස්ත්‍රී හෝ පුරුෂ ලිංග නොමැති; ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොර.
2.(ව්‍යාක.) වි. ස්ත්‍රී ලිඞ්ගය හෝ පුරුෂ ලිඞ්ගයට අයත් නොවන.

නපුංසකයා

නා. ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග ලක්ෂණ නැති තැනැත්තා.

නපුර

1. නා. දෝෂය; අයහපත; අනර්ථය; විනාශය; විපත්තිය.
2. නා. පාපය; දුසිරිත.

නපුරු

1. වි. ක්‍රෑර; දුෂ්ට; අධම; රෞද්‍ර.
2. වි. අපල සහිත; අනිෂ්ට; අනිටු; අරිටු; නපුරු.

නබ

නා.ප්‍ර. අහස; ගුවන; නුබ.

නබි

නා.ප්‍ර. දෙවියන්ගේ භාෂිතය මිනිස් ලොව ප්‍රකාශ කරන්නා; දිවස් ප්‍රසාදිවරයා; ඉස්ලාම් ආගමේ වක්තෘවරයා.

නබිනායක

නා.ප්‍ර. ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මහම්මත්තුමා.

නභෝමණ්ඩලය

නා. අහස; ගුවන.

නභෝමණි

නා.ප්‍ර. අහසෙහි මැණික; හිරු; සූර්යයා; දිනකර.

නම

1. නා. යමකු හෝ යම් ස්ථානයක්, යම් කිසිවක් හඳුනා ගැනීමට යොදන විශේෂ වචනය හෝ පදය; අභිධානය.
2. නා. භික්ෂූන් වහන්සේ හෝ කිතුනු පූජකවරයා හැඳින්වීමට යොදන ගෞරවාර්ථ පදයක්.
3. නා. පෙළපත් නාමය; වාසගම.
4. නා. හොඳ හෝ නරක ප්‍රසිද්ධිය; කීර්තිය හෝ අපකීර්තිය.
5. නා. නමස්කාරය; වැඳීම.

නමතුන්

නා.ප්‍ර. නිමන්ත්‍රණය; ආරාධනය.

නමදිනවා

ක්‍රි. වඳිනවා; නමස්කාර කරනවා; අභිවාදනය කරනවා.

නමනය

නා. නැමෙන ස්වභාවය; නැමෙනසුලු බව; නැමීම.

නමනවා

1. ක්‍රි. කෙළින් තිබෙන දෙයක් වක් කරනවා; වකුටු කරනවා;
2. ක්‍රි. පටවල් එකපිට එක සිටින සේ දෙකට හෝ කීප වතාවකට අකුලනවා.
3. ක්‍රි. (අතු ආදිය) පහතට හරවනවා; පාත් කරනවා; (භාජන ආදිය) ඇල කරනවා.
4. ක්‍රි. (භාජනාදියක තිබෙන ද්‍රවයක්) වක්කරවනවා; වගුරුවනවා; වැටෙන්නට සලස්වනවා.
5. ක්‍රි. අවනත කරනවා; නතු කරනවා; අභිමතයට යටත් කරනවා.

නමනීය

වි. නැමෙනසුලු; නැමෙන ගතියෙන් යුක්ත; නම්‍ය.