සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 923

නිම්මදන

නා.ප්‍ර. මැඩලීම; යටපත් කිරීම.

නිම්මදය

නා. උඩඟුකමින් තොර වීම; මාන රහිත භාවය; නිරහංකාරය.

නිම්මල

වි. පිරිසිදු; පවිත්‍ර; නිර්මල.

නිමානය

(පාරිභා.) නා. යම්කිසිවක අගය හෝ තරම හෝ සලකා බැලීම; නිර්ණනය (=estimation).

නිමායන්ත්‍රය

(පාරිභා.) නා. භාණ්ඩයක නිමාව සකස් කරන යන්ත්‍රෝපකරණය (=finishing machine).

නිමාව

1. නා. අවසානය; කෙළවර වීම; පරිසමාප්තිය.
2. නා. කාර්ය සිද්ධිය; නිෂ්පත්තිය.
3. නා. නිමැවුම; නිර්මාණය.

නිමැවුම

1. නා. නිෂ්පාදන කටයුත්තක අවසානය; ක්‍රියා නිෂ්පත්තිය; පරිසමාප්තිය.
2. නා. නිර්මාණය; අමුතුවෙන් තැනීම.
3. නා. වෙළඳ ද්‍රව්‍යයක මුළු මහත් නිෂ්පාදිතය (=output).

නිමැවුම්කරු

නා.ප්‍ර. යමක් අලුතෙන් නිපදවන්නා; නිර්මාපකයා; යමක් ප්‍රථම වශයෙන් නිපදවන්නා.

නිමි

නා.ප්‍ර. අවසානය; කෙළවර; සමාප්තිය; නිෂ්ඨාව.

නිමි ටැප් කටුව

(පාරිභා.) නා. සිදුරක පතුල තෙක් සම්පූර්ණයෙන් පොට කැපීමට භාවිත කරන උපකරණය; පතුල් කටුව.

නිමිත

1. නා. සලකුණ; සංඥාව; සංකේතය; ඉඟිය.
2. නා. ලිංගේන්ද්‍රිය; පුරුෂ ලිංගය / යෝනිය.
3. නා. යෝගාවචරයකු අරමුණු වශයෙන් ලබා ගන්නා දෙය.
1. වි. නිර්මාණය කරන ලද; සාදනු ලැබූ.
2. වි. ප්‍රමාණය සලකනු ලැබූ; මනින ලද.
3. වි. සලකුණක් වශයෙන් ගැනෙන.
4. වි. මනින ලද.

නිමිත තාරබර

(පාරිභා.) නා. ගණන් ගනු ලැබූ දැවටුම් ආදියෙහි බර (=estimated tare).

නිමිත මුදල්

නා.ප්‍ර. සංකේතයක් ලෙස පමණක් භාවිත වන්නා වූ ද මතුපිට සඳහන් වටිනාකමට සමාන ලෝහ ප්‍රමාණයකින් නොසෑදූ කාසි.

නිමිත්ත

1. නා. සිදුවිය හැකි ඉටුනිටු කරුණු පිළිබඳ ව පහළවන සලකුණ; පෙර නිමිත්ත.
2. නා. හේතුව; මුල් වූ කාරණය; නිදානය.

නිමිතිකරුවා

නා. සලකුණු, තත්කාලය ආදිය අනු ව පලාපල කියන්නා; නිමිත්ත පාඨකයා; නෛමිත්තකයා.

නිමිභාණ්ඩ

නා.ප්‍ර. අවශ්‍ය අමුද්‍රව්‍ය එක් කොට සාදා නිම කළ භාණ්ඩ.

නිමිස

නා. කාලය මැනීමේ මිම්මක්; මාත්‍රාවක් උච්චාරණය කිරීමට ගතවන කාලය; ඇසිපියක් හෙළීමේ කාලය.

නිමිහිම්

නා.ප්‍ර. අවසන් සීමාව; ප්‍රමාණය; මට්ටම; පරිමාණය.

නිමීලන පටලය

නා. ඇස වසා ගැනීමට යොදා ගත හැකි වන සේ ඇතැම් සතුන්ගේ ඇස්වල අමතර ව පිහිටි සිවිය; තුන් වන ඇසිපිය.

නිමීලනය

නා. (ඇසිපිය, මල්පෙති වැනි දේ) වැසීම; ඇසිපිය හෙළීම.

නිමීලයෝගය

(පාරිභා.) නා. මණි විවෘත නොවී පරාග පෝෂණය වන කුඩා අසංකීර්ණ මල් හටගැනීම (=cleistogamy).

නිමීලිත

වි. පියූ; වැසූ.

නිමුජ්ජනය

නා. කිඳීම; ගිලීම.

නිමුන්

වි. යුගල; යුග්ම; නිඹුල්; නිවුන්.