සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 922
නිබ්බුත
1. වි. නිවන් සුවයෙන් නිවී සැනහුණු; කෙලෙස් ගිනි නිවූ; පිරිනිවුණු.
2. වි. නිවුණු; සැනසුණු.
නිබුල්
වි. යුගල; නිවුන්; නිමුන්; නිඹුන්.
නිම
1. නා. කෙළවර; අවසානය; අන්තිමය; තීන්දුව; සීමාව.
2. නා. රෝදයේ පට්ටම; නේමිය; නිම්වළල්ල
3. නා. වැටුප; වේතනය.
නිමග්න
වි. (දියෙහි) ගිලුණු; කිමිදුණු; යට ගිය; එබුණු.
නිමජ්ජකය
(පාරිභා.) නා. (මෝටර් ඇන්ජිමක කාබියුලේටරයෙහි ඉන්ධන පාලනය කිරීම සඳහා ඇති) ඉපියාව; බල පොම්පයක පිස්ටනය (=plunger).
නිමජ්ජනය
නා. (දියෙහි) ගිලීම; ගැලීම; කිඳීම.
නිමත
නා. අග; කෙළවර; අග්‍රය.
නිමතනවා
ක්‍රි. කැඳවනවා; ආරාධනය කරනවා; අමතනවා.
නිමන
නා. උඩඟු නැතිබව; මානයෙන් තොරබව.
නිමනවා
1. ක්‍රි. අවසන් කරනවා; ඉවර කරනවා; නිෂ්ඨාවට පත් කරනවා.
2. ක්‍රි. (බදු) උපදිනවා; අය ලබා දෙනවා; ආදායම් සපයනවා.
3. ක්‍රි. සතුටු කරනවා; සනහනවා; සංසිඳුවනවා.
නිමන්
නිමන්තනය
නා. ආරාධනය; ඇරියුම; කැඳවීම; පැවරීම; නිමන්ත්‍රණය.
නිමන්ත්‍රණ පත්‍රය
නා. නම ගම ආදි තමා හඳුනා ගැනීමට අවශ්‍ය කෙටි විස්තර ඇතුළත් කුඩා පත්‍රිකාව (=visiting card).
නිමල
වි. මල රහිත; පිරිසිදු; නිදොස්; යහපත්; නිර්මල; පාරිශුද්ධ.
නිමහම
නා. යම් නිෂ්පාදනයක් සම්පූර්ණයෙන් සාදා අවසන් කිරීම; කර්මාන්තයක් හෝ කාර්යයක් හෝ සම්පූර්ණ කිරීම.
නිම් වළල්ල
නා. රෝදයේ පට්ටම.
නිම්න
1. වි. නැමුණු; ඇලවුණු; නැඹුරුවුණු; බරවුණු.
2. වි. පහත්; එබුණු; වළගැසුණු; ගැඹුරු.
3. වි. නතු; සතු; අයිති.
නිම්න ග්ලැසියරය
(පාරිභා.) නා. කඳු මුදුනකින් ගලා බස්නා හිම ප්‍රවාහය (=valley glacier).
නිම්න පථය
(පාරිභා.) නා. ගඟක ඉහළ කොටස; ගංආර ගැඹුරු වී ඇති කොටස (=valley tract).
නිම්න භූමිය
1. නා. පහත්බිම; මිටි තැන.
2. නා. මිටියාවත; දෙණිය; හෑරී ගිය දිග බිම් පෙදෙස; නිම්නය.
නිම්නොන්නත
[නිම්න + උන්නත]
වි. පහත් හා උස්; නැමුණු හා නැඟුණු; සමතලා නැති.
නිම්බ
නා.ප්‍ර. ඖෂධීය ශාකයක්; කොහොඹ; නිඹ; නිබ.
නිම්බුර
නා.ප්‍ර. දෙහි.
නිම්ම
1. නා. මුදුන; ශීර්ෂය.
2. නා. කෙළවර; සීමාව.