සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 986

පතළ

1. වි. පැතුරුණා වූ ; විහිදුණා වූ ; ව්‍යාප්ත වූ.
2. ප්‍රසිද්ධ වූ ; ප්‍රකට වූ.

පත්

වි. ප්‍රාප්ත ; පැමිණි.

පත් කුඩය

නා. තල් ආදී අතුවලින් සාදා ගනු ලබන කුඩය.

පත් ගෙඩිය

නා. ලිවීම සඳහා සකස් කොට එකට බැඳ ඇති හිස් පුස්කොළ සමූහය.

පත් පත් කරනවා

1. ක්‍රි. රැකියා තනතුරු ආදියක යොදවනවා ; ධුරයක වගකීම භාර දෙනවා.
2. වස්තු ආදිය හකූලා තබනවා.

පත්ඉරුව

1. නා. පුස්කොළ පොතක කොළය.
2. පැළ ගොයම් ගසේ අලුත ඇදෙන දල්ල
3. ඉඩම් ලියාපදිංචි ලේඛනයෙහි, ඉඩමක් ලියාපදිංචිය සම්බන්ධ විස්තර සටහන් වී ඇති පිටුව.

පත්කඩ

1. නා. වැඳීම හෝ හිඳ ගැනීම හෝ සඳහා බිම අතුරන සම්කඩ හෝ රෙදිකඩ.
2. ලියවිල්ල ; ලේඛනය.

පත්කරණය

නා. ලියවිල්ල ; ඔප්පුව ; ගිවිසුම.

පත්කුර

1. නා. රෙද්දකින් තනන ලද මල්ල.
2. වළං සෑදීමේ දී මැටි ඉවත් කිරීමට ගන්නා කූර.

පත්කොළය

නා. ගින්නෙන් තවා සකස් කරන ලද කෙසෙල් කොළය.

පත්ත

1. නා. ලී පතුර ; පැතලි ලීය.
2. කොළය ; පත්‍රය.
3. පළල් පිහිය ; පැලැස්තර පිහිය.
4. පියාපත. භාජනය ;
5. භාජනය; පාත්‍රය.
6. දිග මිටක් සහිත පැතලි හැන්ද.

පත්තඬුව

[පත් + අඬුව]
නා. (ගිනියම් කළ යකඩ, ගිනිඅඟුරු ආදිය ඇද ගැනීම සඳහා පාවිච්චි කැරෙන) දිග අඬුව.

පත්තාකාර

වි. පැතලි දිග හැන්දක් වැනි හැඩය ඇති ; පත්තක් වැනි.

පත්තායම

1. නා. වී තැන්පත් කළ ගබඩාව ; ධාන්‍යාගාරය.
2. (රන් රිදී ආදී වටිනා) වස්තු තැන්පත් කරන විශාල ලී පෙට්ටිය.

පත්තෑයා

නා. පණු හැඩය ගත් රතු පැහැති පැතලි සිරුරක් ඇති විෂ සහිත සන්ධිපාදක සතෙක්.

පත්ති

1. නා.ප්‍ර. පයින් ගමන් කරන භට සේනාව ; පාබළ හමුදාව.
2. (මළගිය අය වෙනුවෙන්) පින් පැමිණවීම ; පුණ්‍ය චේතනාව.

පත්ති දානය

නා. තමන් කළ පින් අනුනට අනුමෝදන් කරවීම ; පින් දීම.

පත්තිනි

නා.ප්‍ර. පතිව්‍රතාව පිළිබඳ ප්‍රකට දෙවඟන ; පත්තිනි දේවිය.

පත්තිය

නා. භාර්යාව.

පත්තිරිප්පුව

නා. පෙළපාලි ආදිය නැරඹීම සඳහා නිර්මාණය කරන ලද විසිතුරු අටැස් ගොඩනැඟිල්ල.

පත්තු කරනවා

ක්‍රි. ගිනි දල්වනවා ; ගිනි තබනවා ; වෙඩි තබනවා.

පත්තුව

1. නා. ගම් වසම් කීපයක් එකතු වී සෑදෙන පාලන කොට්ඨාසය ; කෝරළයක අනු ප්‍රදේශය.
2. කැඩුම් බිඳුම් ආදියට ගල්වන ඖෂධීය ආලේපය.

පත්පැණි

නා.ප්‍ර. උකු වන තෙක් උණු කරන ලද පැණි.

පත්ම

නා.ප්‍ර. නෙළුම් මල ; පියුම.