අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 131

තම්බපණ්ණි

නා.ප්‍ර. පුරාණයේ ලංකාව හැඳින්වූ නාමයක්; තම්මැන්නාව (පා. තම්බපණ්ණි)

තඹ

1. නා.ප්‍ර. රතට හුරු දුඹුරු පාට ලෝහයක්/ මද රත් පැහැය (පා. තම්බ සං. තාම්‍ර) 2. ඇතුන් බඳිනා ටැඹ; ටැඹ (පා. ථම්භ සං. ස්තම්භ)

තඹර

1. නා.ප්‍ර. නෙළුම; පියුම (පා. සං. තාමරස) 2. තඹ පැහැය (සං. තාම්‍රක)

තඹරසිළු

නා.ප්‍ර. කුකුළා; සැවුලා (සං. තාම්‍රචූඩ)

තඹල

වි. තඹ පැහැයෙන් යුත්

තරංගය

නා. සාගර, ජලාශ ආදියෙහි උස් ව නැඟී, පෙරළී එන ජල කඳ/ආවර්තිත ව නැග බැස යන, කැලඹීමක් සේ පැතිරෙන, ශබ්ද, තාප, විද්‍යුත් හෝ විද්‍යුත් චුම්බක ධාරාව (පා. සං. තරඞ්ග)

තරංගිණී

නා.ප්‍ර. ගංගාව; (සං. තරඞ්ගිණී)

තරගය

නා. දෙපක්ෂයක් අතර වන ක්‍රීඩාව/ එකිනෙකා පරදවා ජය ගැනීමට කරන ක්‍රීඩාව

තරගාවලිය

නා. තරග මාලාව

තරඟ

නා.බහු. සයුරු ආදියෙහි නැඟෙන රළ; තරංග (පා. සං. තරඞ්ග)

තරණය

1. නා. එගොඩ වීම; එතෙර වීම (පා. සං. තරණ) 2. පරතෙරට පත් කිරීමට උපකාරී වන දෙය (සං. තාරණ)

තරල

වි. දියාරු; දියර ගතියට හුරු/ සෙලවෙන; ලෙළදෙන (පා. සං. තරල)

තර්කඥානය

නා. තර්කයෙන් ලබන නුවණ (සං. තර්කඥාන)

තර්කණය

නා. තර්ක කිරීම; තර්කය (සං. තර්කණ)

තර්ජනය

නා. තරවටුව; බැණීම (සං. තර්ජන)

තර්පණය

නා. පිනවීම (සං. තර්පණ)

තරිඳු

නා.ප්‍ර. චන්ද්‍රයා; හඳ (සං. තාරෙන්‍ද්‍ර)

තරුණ

වි. යෞවන/ නොමේරූ/ අලුත් (පා. සං. තරුණ)

තරුණිය

නා. මාණවිකාව; යුවතිය (සං. තරුණි, තරුණී)

තල

1. නා.ප්‍ර. මතුපිට; තට්ටුව/ ලෝකය/ මහල/ පිහි ආදියෙහි මුවහත තබන කොටස (පා. සං. තල) 2. එනම් ධාන්‍ය වර්ගය (පා. සං. තිල) 3. තරාදිය/ තලාඳය (පා. සං. තුලා) 4. තල් ගස (පා. සං. තාලි)

තලගුළි

නා.ප්‍ර. තලවලින් සාදන රසකැවිලි විශේෂයක්

තලත්තෑනි

වි. තලතුනා (දෙ. தலைத்தாள்)

තලතුනා

වි. වයසින් නුවණින් මේරූ (දෙ. தலைத்தாள்)

තලප

නා.ප්‍ර. කුරහන් ආදි පිටි වර්ගවලින් උකුවට පිසගන්නා කෑම විශේෂයක්