අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 15

අන්දමන්ද

වි. මෝඩ සහ අඥාන

අන්ධ

වි. දෑස ම නොපෙනෙන

අන්ධ විශ්වාසය

නා. කරුණු නොසලකා තබන විශ්වාසය (සං. අන්‍ධ+විශ්වාස)

අන්ධකාරය

නා. අඳුර; කළුවර (පා. සං. අන්‍ධකාර)

අන්ධබාල

වි. අනුවණ (පා. සං. අන්‍ධබාල)

අන්ධභක්තිය

නා. කරුණු හරිහැටි නොසලකා ඇති කරගන්නා විශ්වාසය (සං. අන්‍ධ+භක්ති)

අන්ධානුකරණය

නා. කරුණු නොවිමසා අනුකරණය කිරීම (සං. අන්‍ධ+අනුකරණ)

අන්නපාන

නා.ප්‍ර. කෑම සහ බීම (සං. අන්නපාන)

අන්වර්ථ

වි. අර්ථයට අනුකූල (සං. අන්‍වර්ථ)

අන්වීක්ෂණය

නා. පරීක්ෂණය; ගවේෂණය (සං. අන්‍වීක්‍ෂණ)

අන්වීක්ෂය

නා. කුඩා දේ ලොකු කර බලන උපකරණය; අණුදක්නය (සං. අණු + ඊක්‍ෂ)

අන්වේෂණය

නා. අනුව සෙවීම/සොයා බැලීම; පරීක්‍ෂණය (සං. අන්වෙෂණ)

අන්‍යොන්‍ය

වි. එකිනෙකා හෝ එකිනෙක හෝ පිළිබඳ (සං. අන්‍යොන්‍ය)

අන්‍යෝන්‍යාධාරය

නා. ඔවුනොවුන්ට උපකාර වීම (සං. අන්‍යොන්‍ය + ආධාර)

අනාගත වක්තෘ

නා.ප්‍ර. මතු සිදු වන දේ ගැන කියන්නා

අනාචාරය

නා. ආචාරධර්මයට විරුද්ධ වූ හැසිරීම/කාමයෙහි වරදවා හැසිරීම (පා. සං. අනාචාර)

අනාථ

වි. අසරණ (පා. සං. අනාථ)

අනාදිමත්

වි. අතිපුරාණ

අනාරක්ෂිත

වි. ආරක්ෂා නොවූ

අනාරාධිත

වි. ඇරයුමකින් තොර

අනාවරණය

නා. නොවැසුණු බව (පා. අනාවරණ)

අනාවෘත

වි. නොවසන ලද (සං. අනාවෘත)

අනිච්ච

වි. නිත්‍ය නොවන (පා. අනිච්ච)

අනිච්චානුග

වි. සිය කැමැත්ත අනුව ක්‍රියා නොකරන