අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 166

නළකාරයා

නා. බට පතුරුවලින් කුලු ආදි බඩු සාදන්නා; කුලුපොත්තා (පා. නළකාර)

නළඟන

නා.ප්‍ර. රඟපෑමෙහි යෙදෙන ස්ත්‍රිය; නිළිය (සං. නාටිකාඞ්ගනා)

නළදත

නා. දත් ඇන්දට පිටතින් ඇදුණු දත

නළල

නා. මුහුණේ දෙබැමට ඉහළින් හා හිසකෙස්වලට පහළින් ඇති ප්‍රදේශය (පා. ලලාට, නලාට)

නළවනවා

ක්‍රි. දරුවන් සනසනවා/ රවටනවා

නළාව

නා. පිඹීමෙන් හඬ ගෙන දෙන සංගීත භාණ්ඩයක්

නළියනවා

ක්‍රි. ඒ අතට මේ අතට දඟලනවා

නළුව

නා. නැටුම; නාට්‍යය; නාටකය (පා. සං. නාටක)

නළුවා

නා. රඟපාන්නා

න්‍යෂ්ටික

වි. න්‍යෂ්ටිය පිළිබඳ වූ

න්‍යෂ්ටිය

නා. මැද කොටස; කේන්ද්‍රය/ සෛලයක් තුළ ඇති ප්‍රධාන අවයවය/ පරමාණුවක ධන ආරෝපිත ප්‍රෝටෝන හා ආරෝපණ රහිත න්‍යුට්‍රෝනවලින් යුත් කේන්ද්‍රීය කොටස (සං. න්‍යෂ්ටි)

න්‍යාය

වි. නීතිය සම්බන්ධ; න්‍යාය පිළිබඳ/ ක්‍රමය පිළිබඳ වූ (සං. න්‍යාය)

න්‍යාය පත්‍රය

නා. කිසියම් සභා වාරයක දී කළ යුතු වැඩ අනුපිළිවෙළින් දක්වන ලේඛනය

න්‍යායානුකූල

වි. ක්‍රමයට අනුකූල වූ; නීතියට අනුව පවත්නා (සං. න්‍යාය+අනුකූල)

න්‍යායානුසාරයෙන්

ක්‍රි.වි. ක්‍රමයට හෝ සම්මතයට හෝ අනුරූප ව (සං. න්‍යාය+අනුසාර)

න්‍යාසය

නා. ස්ථාපනය/ විස්තරය; විවරණය/ ගීතයක අවසාන ස්වරය (සං. න්‍යාස)

නාග මාණික්‍යය

නා. ඇතැම් නාගයින්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කෙරෙන මැණික

නාගකන්‍යාව

නා. නා ලොව වෙසෙන නාග මාණවිකාව (සං. නාගකන්‍යා)

නාගදරණ

නා.ප්‍ර. නාගයාගේ හකුළාගත් ශරීරය

නාගරීකරණය

නා. යම් ප්‍රදේශයක් නාගරික ලක්ෂණ ගැන්වීම

නාට්‍ය ශාස්ත්‍රය

නා. නාට්‍ය කලාව; නාට්‍ය පිළිබඳ ශාස්ත්‍රය (සං. නාට්‍යශාස්ත්‍ර)

නාට්‍යකරණය

නා. නාට්‍ය නිෂ්පාදනය කිරීම; නාට්‍යමය කටයුතු සිදු කිරීම

නාටිකාංගනාව

නා. නළඟන (සං. නාටිකාඞ්ගනා)

නාණක

නා.ප්‍ර. කාසිය; පදක්කම; මුද්‍රාපිත ලෝහ ද්‍රව්‍යය (සං. නාණක)