අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 167

නාථ

නා.ප්‍ර. බෝසත් දෙවිකෙනකුගේ නාමය (පා. සං. නාථ)

නානාප්‍රකාර

වි. නොයෙක් ආකාර; නන්වැදෑරුම්; විවිධ (සං. නානාප්‍රකාර)

නානු

නා.ප්‍ර. හිස සේදීම සඳහා භාවිත ද්‍රව සංයෝගය/ ඇතැම් ශාකවල ඇති බෙලසුල් ද්‍රව්‍යය (දෙ. நானம்)

නානුමුරය

නා. ස්නානය පිළිබඳ මෙහෙය

නාඳුනන

වි. හඳුනන්නෙ නැති; කලින් නොදන්නා.

නාභිය

නා. පෙකණිය; නැබ/ රථ චක්‍රයක මධ්‍යය/ කේන්ද්‍රය; ලක්ෂ්‍යය (පා. සං. නාභි)

නාම ලේඛනය

නා. පුද්ගල හෝ යම් යම් ද්‍රව්‍ය ආදිය පිළිබඳ හෝ නාමයන් අනුපිළිවෙලින් ගොනු කළ ලේඛනය; නම් ලැයිස්තුව

නාමකරණය

නා. නම් තැබීම (පා. සං. නාමකරණ)

නාමශේෂෝපගත

වි. නමින් පමණක් ඉතිරි වූ; අභාවයට ගිය

නාමසංඥා

නා.ප්‍ර. විභක්තියෙන් තොර වූ අර්ථවත් ශබ්ද රූපය (සං. නාමසංඥා)

නාමාවලිය

නා. නම් වැල; නම් ලැයිස්තුව (සං. නාමාවලි)

නාමෝපලක්ෂිත

වි. නමින් පමණක් හඟවන ලද

නාඹ

වි. තරුණ; පෝතක; නොමේරූ

නාඹර

වි. නොමේරූ/තරුණ; යෞවන

නාරායණ

නා.ප්‍ර. විෂ්ණු දෙවි (සං. නාරායණ)

නාරිලතා

නා.ප්‍ර. ස්ත්‍රී රූපයක හැඩය ගත් මනඃකල්පිත මල් විශේෂයක්

නාරිලාලිත්‍යය

නා. ලලනාවකගේ සුන්දරත්වය

නාරිලාවණ්‍යය

නා. කාන්තාවන්ගේ සුන්දරත්වය

නාලය

නා.ප්‍ර. නාළය

නාලාගිරි

නා.ප්‍ර. බුදුරදුන් ඝාතනයට සතුරන් විසින් මෙහෙයවන ලද ඇතා (පා. සං. නාලාගිරි)

නාලිකාව

නා. ගුවන්විදුලි හා රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය උදෙසා වෙන් කොට දී ඇති සංඛ්‍යාත පරාසය

නාලිකේර

නා.ප්‍ර. නාළිකේර

නාශක

වි. නසන; විනාශ කරන (සං. නාශක)

නාස්තිය

නා. විනාශ කිරීම; නැති කිරීම (සං. නාස්ති)